ශිරන්තිට ගුවන් තොටුපළේදී නෝටිස් දීලා! ගියාට 24 FCIU එන්නැයිි දැනුම් දෙයි!

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට, ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ලිඛිත දැනුම්දීමක් භාරදී තිබේ.

අප ස්වාධීනව තහවුරු කරගත් තොරතුරු අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(6) වගන්තිය යටතේ නිකුත් කර ඇති එම දැනුම්දීම මගින් සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත වාර්තා කරන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම්දී තිබේ.

ඇය අද, 2026 සැප්තැම්බර් 16 වැනිදා, ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(6) වගන්තිය අනුව, අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන පොලිස් නිලධාරියකුට හෝ විමර්ශකයකුට, එම සිද්ධියේ කරුණු හා තත්ත්වයන් පිළිබඳ දැනුමක් ඇතැයි පෙනී යන පුද්ගලයකුට තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ලිඛිත නියෝගයක් නිකුත් කළ හැකිය. එවැනි ලිඛිත නියෝගයක් මත අදාළ පුද්ගලයා පෙනී සිටිය යුතු බව එම වගන්තියේ සඳහන් වේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇත්තේ සිරිලිය සවිය වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුව — NSB — විසින් ලබාදී ඇති රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

එම මුදල ලබාගෙන ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා CT Scanner යන්ත්‍රයක් ලබාගැනීම සඳහා බව විමර්ශන තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

සිරිලිය සවිය විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක් මත NSB බැංකුව එම රුපියල් මිලියන 10 ලබාදී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එවකට බැංකුවේ සේවය කළ නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා අදාළ CT Scanner යන්ත්‍රය චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව අනාවරණය වීමත් සමඟ, NSB බැංකුවෙන් CT Scanner යන්ත්‍රය සඳහා ලබාගත් බව කියන රුපියල් මිලියන 10ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනය කේන්ද්‍රගත වී තිබේ.

ඒ අනුව, එම මුදල ලබාගැනීම සඳහා NSB වෙත ඉදිරිපත් කළ ඉල්ලීම, මුදල සිරිලිය සවිය සම්බන්ධ ගිණුම් වෙත බැර වූ ආකාරය සහ පසුව එම මුදල් භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතී.

මෙම සිරිලිය සවිය විමර්ශනයට අදාළව 2026 පෙබරවාරි 3 වැනිදාද ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබුණි. එදින ඇයගෙන් පැය හතරකට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබූ බව වාර්තා විය.

අලුත්ම විමර්ශනවලදී NSB බැංකුවෙන් ලබාදුන් රුපියල් මිලියන 10 සම්බන්ධයෙන්ද ඇයගෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණි.

සැප්තැම්බර් 14 වැනිදා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වී තිබුණේ ඇය අසනීප තත්ත්වයෙන් සිටින බව දැනුම්දී තිබීම හේතුවෙනි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading