සලේගේ වෛද්‍ය වාර්තා නොදුන් ජාතික රෝහල් අධ්‍යක්ෂට නොතිසි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අද (සැප්තැම්බර් 15) නොතිසි නිකුත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණය ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබිණි.

සුරේෂ් සලේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස එම නියෝගයෙන් දැනුම් දී තිබූ අතර, එම වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් මෙම නොතිසි නිකුත් කර තිබේ.

එමෙන්ම, අදාළ වෛද්‍ය වාර්තා පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයටද ලබාදී නොමැති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading