පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර නිදොස් කොට නිදහස්!

2021 වසරේ පැවති විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර යන අයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

දීර්ඝ කාලයක් පුරා විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ප්‍රකාශ කළේ, පැමිණිලි පාර්ශ්වය විසින් විත්තිකාරියන්ට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.

එබැවින් අධිකරණය විසින් මෙම නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය ලබා දී තිබෙනවා.

මේ අතර මෙම නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම් කර සිටි ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මිය මේ වන විට ජීවතුන් අතර නොමැති බවද නඩු විභාගය අතරතුරදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

2021 අප්‍රේල් මාසයේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මෙම අර්බුදය හටගෙන තිබුණා.

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා කිරුළු පැළඳීමෙන් මිනිත්තු කිහිපයකට පසු එවකට ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඉවත් කළා.

කිරුළ ගැලවීමේදී තමන්ට තුවාල වූ බව පවසමින් පුෂ්පිකා ද සිල්වා කළ පැමිණිල්ලකට අනුව 2021 අප්‍රේල් 08 වන දින කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් දෙදෙනා ඇප මත මුදා හරිනු ලැබුවා.

මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසු එල්ල වූ දැඩි විවේචන සහ පීඩනය හමුවේ කැරොලයින් ජූරි තමන් දැරූ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ ද ස්වකැමැත්තෙන් අත්හැරීමට තීරණය කළා.

මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වූ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්‍ර මහත්මිය, මෑතකදී එනම් 2026 අගෝස්තු 31 වන දින සිය වයස අවුරුදු 46 දී අභාවප්‍රාප්ත වුණා.

Author

Related Posts