ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කැඳවයි…

වසර 7කට ආසන්න කාලයක් තිස්සේ අඩාළව පැවති, 2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688ක විශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළ නඩුව, ලබන නොවැම්බර් මස 02 වන දා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) නියෝග කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම නඩුවේ පළමු වන විත්තිකරු ලෙස නම් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විටත් අධිකරණය මගහැර සිටින අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් මීට පෙර විවෘත වරෙන්තු ද නිකුත් කර තිබේ. ඔහු නොමැතිවම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය මීට පෙර තීරණය කර ඇත.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ්රි ඇලෝසියස් මෙන්ම කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා සඳහන් කර ඇත්තේ, මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට දැනට නියෝජිතයෙකු නොමැති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 වසරේදී එම සමාගමේ කටයුතු තහනම් කිරීම හේතුවෙන් වර්තමානයේදී එහි ව්‍යාපාරික කටයුතු සිදු නොවෙන බව ද හෙතෙම පෙන්වා දී ඇත.

අදාළ සමාගම වෙනුවෙන් නියෝජිතයෙකු පෙනී සිටීම සම්බන්ධයෙන් නීතිමය තීරණයක් ගන්නා තෙක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කල් තබන ලෙස, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඉල්ලා තිබේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බලමින්, අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 02 වන දා තෙක් කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

2015 ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම යනු රජයට රුපියල් බිලියන ගණනක විශාල මූල්‍ය පාඩුවක් සිදු වූ බවට චෝදනා එල්ල වූ ආන්දෝලනාත්මක සිදුවීමකි. 2015 පෙබරවාරි 27 වන දින මහ බැංකුව විසින් රුපියල් බිලියන 01ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණ ද, වෙන්දේසිය අතරතුරදී එය හදිසියේම රුපියල් බිලියන 10ක් දක්වා වැඩි කරන ලදී. මෙහිදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස්ට අයත් ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්’ නැමැති ප්‍රාථමික ගැණුම්කාර සමාගම වෙත ඉහළ පොලී අනුපාතික යටතේ බැඳුම්කරවලින් විශාල ප්‍රමාණයක් හිමි විය. අභ්‍යන්තර රහස් තොරතුරු කලින් ලබාගනිමින් අසාධාරණ ලෙස අධික ලාභයක් ලැබීමට එකී සමාගමට ඉඩ සැලසීම තුළින්, ඉදිරි වසර ගණනාව පුරාවට අධික පොලී ගෙවීමට සිදුවීම නිසා රජයට සහ මහජනතාවට, වෙන්දේසියේදී පොදු දේපළ පනත යටතේ රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කළ බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading