මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, නීතිවිරෝධී ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගැනීම යන චෝදනාවලට වරදකරු කරමින් ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12 දෙනෙකුට එල්ලා මැරීමට මරණ දණ්ඩනය නියම කර ඇතැයි කයිරෝ අපරාධ අධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Al-Ahram පුවත්පත උපුටා දක්වමින් BBC සහ Times of India වාර්තා කර ඇත්තේ, විකිණීමේ අරමුණින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ආනයනය කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් වීම සහ බලපත්‍ර රහිත ගිනිඅවි හා පතොරම් සන්තකයේ තබාගැනීම මොවුන්ට එරෙහි ප්‍රධාන චෝදනා වන බවයි.
එමෙන්ම මරණ දණ්ඩනය නියම වූවන්ට ඊජිප්තු පවුම් 500,000 බැගින් (ඇමෙරිකානු ඩොලර් 9,800ක් පමණ) දඩ නියම කර ඇති බවත් විත්තිකරුවන් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්ද, 7 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම තීන්දුව මුලින්ම පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කළද, මරණ දණ්ඩනය සම්බන්ධ නඩු සඳහා වන නීතිමය අවශ්‍යතාවක් සපුරාලමින් ඊජිප්තුවේ ප්‍රධාන ඉස්ලාමීය නායකයා වන ග්‍රෑන්ඩ් මුෆ්තිවරයාගේ නිල ආගමික මතය ලබාගැනීමෙන් අනතුරුව එය ස්ථිර කළ බව BBC පුවත් සේවය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තීන්දුව අවසන් එකක් නොවන බවත් මීට එරෙහිව අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨතම සලකා බැලීමේ අධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බැවින් සිය සේවාදායිකාව වෙනුවෙන් අභියාචනයක් ගොනුකරන බවත් කලීෆාගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අධිකරණ නඩු විභාගය අතරතුරදී අනාවරණය වූ කරුණු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ආරක්ෂක අංශ විසින් කෘතිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය සහ තහනම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750කට අධික තොගයක් සොයාගෙන තිබූ බවයි.
2025 අප්‍රේල් මාසයේදී නැගෙනහිර කයිරෝවේ නේවාසික මහල් නිවාසයක පවත්වාගෙන ගිය භූගත රසායනාගාරයක් වැටලීමෙන් මෙම ජාවාරම අනාවරණය වී තිබුණා.
සාක්ෂිකරුවන් 20 දෙනෙකුගේ ප්‍රකාශ, දුරකථන සංවාද, ඡායාරූප සහ වීඩියෝ ඇතුළු විද්‍යුත් දත්ත මත පදනම්ව පැමිණිල්ල සිය නඩුව ගොඩනගා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අපරාධ ගැටලු ආවරණය කළ “Mission Impossible” නම් රූපවාහිනී වැඩසටහන මෙහෙයවීමෙන් ප්‍රසිද්ධියට පත්වූ 39 හැවිරිදි සාරා කලීෆා, ඉන්ස්ටග්‍රෑම්හි මිලියන 2.5ක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 3කට අධික අනුගාමිකයන් සිටින තැනැත්තියක් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති නඩු විභාගයකදී විනිසුරුවරයා ඇගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය කියා සිටියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය තුළදී ඡායාරූප ගැනීමට ඉදිරිපත් කරන තුරු තමන් කිසිදු මත්ද්‍රව්‍යයක් ඇසින් දැක නොතිබූ බවයි.
තීන්දුව ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදීද හඬා වැටෙමින් කරුණු දක්වා ඇති ඇය, තමන් ජීවිතයේ කිසි දිනෙක සිගරැට්ටුවක්වත් පානය කර නැති බවත් සර්වබලධාරී දෙවියන් ඉදිරියේ දිවුරමින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් ප්‍රකාශ කළ බව සමාජ මාධ්‍ය වීඩියෝ පදනම් කරගනිමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Amnesty International සංවිධානයේ 2025 වාර්තාවකට අනුව එම වසර තුළ පමණක් ඊජිප්තු අධිකරණ මඟින් පුද්ගලයන් 492 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇති බවත් පුද්ගලයන් 23 දෙනෙකුගේ දණ්ඩනය ක්‍රියාත්මක කර තිබෙනවා.
විත්තිකරුවන් වරදකරුවන් වූ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ස්ත්‍රී දූෂණ වැනි චෝදනා, ජාත්‍යන්තර නීතිය සහ ප්‍රමිතීන්ට අනුව මරණ දණ්ඩනය සීමා විය යුතු “චේතනාන්විත ඝාතන” ගණයට අයත් නොවන බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
