ප්‍රශ්නගත එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද දැනුම්දීමකට අනුව, නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.15ට පමණ එම කොමිසම හමුවේ පෙනී සිටියා.
එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පස්වරු 2.09ට පමණ විමර්ශන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව පස්වරු 3.50ට පමණ ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අතර පස්වරු 4.30ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නඩු විභාගය ආරම්භ වුණා.
එම අවස්ථාවේදී අනුර ප්‍රියදර්ශන යාපා, සරත් වීරසේකර, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, සාගර කාරියවසම්, ප්‍රේමනාත් සී. දොලවත්ත සහ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු දේශපාලනඥයින් රැසක් අධිකරණ ශාලාව තුළ රැඳී සිටිනු දක්නට ලැබුණා.
නීතිපතිවරයාගේ සහයෝගය නොමැතිව වුවද අධිචෝදනා ගොනුකිරීමේ බලය සහිත අල්ලස් කොමිසම මෙහෙයවූ මෙම නඩුවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක් නියෝජනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
එහිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ අනාවරණය කළේ, ප්‍රශ්නගත එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී එකඟ වූ අල්ලස් මුදල් අතුරින්, ව්‍යාපාරික නිමල් පෙරේරාගේ සමාගම් ගිණුමක් හරහා එවකට වටිනාකමින් රුපියල් මිලියන 100කට සමාන ඇමෙරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත අත්පිට මුදලින් භාරදී ඇති බවයි.
ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව මත ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ මෙම විමර්ශනය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අදාළ ගනුදෙනුවේදී මුදල් ගලාගිය සම්පූර්ණ දාමය සහ නාමල් රාජපක්ෂ මහතා වෙත එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණය හමුවේ ඉදිරිපත් කළා.
ප්‍රංශයේ එයාර්බස් සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර ගුවන් යානා 16ක් මිලදී ගැනීමට ගිවිසුම්ගතව තිබූ බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, එහිදී එක් ගුවන් යානයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනය බැගින් අල්ලස් ලබාගැනීමට පාර්ශ්වයන් අතර එකඟතාවක් පැවති බව පෙන්වා දුන්නා.
ඒ අනුව ගුවන් යානා දෙකක් මිලදී ගැනීමෙන් අනතුරුව එයාර්බස් සමාගම විසින් යුරෝ මිලියන 1.454ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න) මුදලක් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ‘BIZ Solutions INC’ නම් ගිණුමකට අල්ලස් වශයෙන් බැර කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළා.
එමෙන්ම මෙම සමාගමේ මව් සමාගම බෲනායි රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති අතර, එහි හිමිකාරිය මෙන්ම එකම අධ්‍යක්ෂවරිය වන්නේ එවකට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඔහු පෙන්වාදුන්නා,
අදාළ ‘BIZ Solutions INC’ ගිණුමට බැර වූ අල්ලස් මුදල් විවිධ පාර්ශ්ව වෙත බෙදී ගිය ආකාරය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව ‘BIZ Solutions’ ගිණුමෙන් යුරෝ ලක්ෂ 4ක සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක මුදලක් කපිල චන්ද්‍රසේන මහතාගේ නමින් ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ පවත්වාගෙන ගිය පුද්ගලික ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වුණා.
එම ගිණුමෙන්ම සිංගප්පූරුවේ ‘SL Agro’ නම් සමාගමට යුරෝ 168,400ක මුදලක් බැර කර ඇති අතර, එයින් රුපියල් මිලියන 9, 7 සහ 2 වශයෙන් අවස්ථා තුනකදී ‘සදිසි මීඩියා’ නම් ආයතනයට මුදල් ගලා ගොස් තිබෙනවා.
ඊට අමතරව තවත් රුපියල් මිලියන 6ක මුදලක් ශමීන්ද්‍ර රාජපක්ෂ වෙත සෘජුව ලබාදී ඇති අතර, සදිසි මීඩියා ආයතනයද ඔහු සතු බැවින් සමස්තයක් ලෙස රුපියල් මිලියන 25ක මුදලක් ඔහුට ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළා.
එවකට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ ශමීන්ද්‍ර රාජපක්ෂ මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින බැවින්, ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර පියවර ගනිමින් සිටින බවද ඔහු අධි කරණයට දැනුම් දුන්නා.
එමෙන්ම 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 යන දිනවලදී ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සභාපතිත්වය දැරූ ‘Sabre Vision Holding Ltd’ සමාගමේ නමින් සිංගප්පූරුවේ OCBC බැංකුවේ පැවති ගිණුමකට ‘BIZ Solutions’ ගිණුමෙන් අවස්ථා දෙකකදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් තැන්පත් කර තිබූ බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් පසුගියදා ඕස්ට්‍රේලියාවට ගොස් දැනට එරට පදිංචිව සිටින නිමල් පෙරේරා මහතාගෙන් සෘජුවම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ජීවිත තර්ජන පවතින බැවින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළ නිමල් පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවා.
එම ‘BIZ Solutions INC’ ගිණුමෙන් තම ‘Sabre Vision Holding Ltd’ ගිණුමට ලද අදාළ ඩොලර් ලක්ෂ 8ක මුදලට සමාන එවකට වටිනාකම වූ රුපියල් මිලියන 100ක මුදල සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙත තමන් විසින් අත්පිට මුදලින් භාරදුන් බව නිමල් පෙරේරා එම දිවුරුම් ප්‍රකාශය මඟින් තහවුරු කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා..
එමෙන්ම එයාර්බස් මව් සමාගම සිය පැරණි කළමනාකාරීත්වය සිදුකළ මෙම ප්‍රශ්නගත ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදීමටත්, ශ්‍රී ලංකා රජය වෙත තොරතුරු ලබාදෙමින් අධිකරණය හමුවේ සාක්ෂි දීමටත් මේ වන විට නිල වශයෙන් එකඟ වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.
ඒ අනුව ගනුදෙනුවට අදාළ සියලුම නිල ලේඛන, ඊමේල් පණිවුඩ සහ බැංකු ගිණුම් වාර්තා එයාර්බස් සමාගම විසින් මෙරට විමර්ශන අංශ වෙත භාරදී තිබේ. එයාර්බස් සමාගමේ උසස් නිලධාරීන් අවස්ථා තුනකදී ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශ හතරක් ලබාදී ඇති අතර, එමඟින් එයාර්බස් සමාගම සහ නාමල් රාජපක්ෂ මහතා අතර පැවති සබඳතාවන් පිළිබඳ පැහැදිලි සාක්ෂි නිරාවරණය වී ඇති බවද ඔහු අවධාරණය කළා.
මෙම අල්ලස් මුදල් බෙදාහැරීමේ ප්‍රධාන මැදිහත්කාරිය වූ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බැවින්, ඇයව මෙරටට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.
ඒ අනුව නව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විශේෂ සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින්ද, සාක්ෂිකරුවන්ට දැඩි ජීවිත තර්ජන පවතින බැවින්ද, විමර්ශනය අවසන් අදියරේ පවතින බැවින්ද සැකකාර නාමල් රාජපක්ෂ මහතාට කිසිදු හේතුවක් මත ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, නිමල් පෙරේරාගේ ආරක්ෂක නිලධාරියාගෙන් සහ රියදුරාගෙන්ද වැඩිදුර ප්‍රකාශ ලබාගෙන ඇති බව තහවුරු කළා.
මේ අතර සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර පෙරේරා මහතාගේ ඉල්ලීම මත ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇප අයැදුම ඉදිරිපත් කළා.
මෙම විමර්ශනය 2015 පත් කළ ජේ.සී. වැලිඅමුණ කමිටු වාර්තාව සහ කෝප් පැමිණිල්ලක් මත පදනම් වූවක් බවත් 2020 දී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන කෙටි කලකින් ඇප ලැබූ බවත් ඔහු පෙන්වා දුන්නා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු භෞතික සාක්ෂියකින් තොරව, විශ්වාසනීයත්වයක් නොමැති තනි පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් බව යි.
එහිදී අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප අයැදුම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ, එයාර්බස් සමාගමේ නිලධාරීන් හෝ ප්‍රංශ බලධාරීන් කිසිවෙකුත් නාමල් රාජපක්ෂ මහතා වෙත මුදල් ලබාදුන් බවට ප්‍රකාශ කර නොමැති බවයි,
එමෙන්ම අදාළ මුදල් නාමල් රාජපක්ෂ මහතා වෙත අත්පිට මුදලින් ලබාදුන් බවට ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා පවසන කතාව සනාථ කිරීමට විමර්ශන අංශ මෙතෙක් කිසිදු භෞතික හෝ විද්‍යාත්මක සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවද ඔහු සඳහන් කළා.
පැමිණිල්ල සිය ප්‍රධාන සාක්ෂිකරු ලෙස ඉදිරිපත් කර ඇති නිමල් පෙරේරා නැමැත්තාගේ විශ්වාසනීයත්වය දැඩි ලෙස ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා, කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන ‘ක්‍රිෂ් ගනුදෙනුවට’ අදාළ නඩුව පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළා.
එම ක්‍රිෂ් නඩුවේදී මුදල් බැර වූ බව කියන ‘Sabre Vision Holding Ltd’ සමාගමේ ගිණුම තමන්ට අයත් නොවන බවත්, එය තම ඉතාලි ජාතික මිතුරෙකුගේ බවත් නිමල් පෙරේරා මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව නීතිඥවරයා පෙන්වාදුන්නා.
අවස්ථා කිහිපයකදී එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරන පුද්ගලයෙකුගේ සාක්ෂි පදනම් කරගනිමින් මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම බරපතළ ගැටලුවක් බව ඔහු කියා සිටියා.
2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිමල් පෙරේරා සිදුකළ ප්‍රකාශ විශ්වාස නොකළ පසුබිමක 2026 වසරේදී එකවරම ඔහුගේ ප්‍රකාශ මෙතරම් විශ්වාස කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා, මෙම ක්‍රියාවලිය හරහා සිදුවන්නේ “කන්න ඕන වුණාම කබරගොයාත් තලගොයා කරගැනීමේ න්‍යාය” ක්‍රියාවට නැංවීමක් බව එහිදි චෝදනා කළා.
එවැනි පදනම් විරහිත සහ පරස්පර සාක්ෂි මත තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සාධාරණ කරුණු කිසිවක් ඉදිරිපත්ව නොමැති බව අවධාරණය කළ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා, සාක්ෂිකරුගේ මෙම විශ්වාසනීයත්වයේ බිඳවැටීම සුවිශේෂී කරුණක් ලෙස සලකා බලා නාමල් රාජපක්ෂ මහතා ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.
“සැකකරුට අදාළව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම සහතිකය මෙතෙක් අභියෝගයට ලක්වී නැහැ. එවැනි අවස්ථාවක සැකකරුවෙකුට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වුවහොත් පමණි. විත්තියේ නීතිඥවරුන් ප්‍රධාන සුවිශේෂී කරුණ ලෙස මතු කළේ නිමල් පෙරේරාගේ සාක්ෂියේ විශ්වාසනීයත්වයයි. සාක්ෂිකරුවෙකුගේ විශ්වාසනීයත්වය තීන්දු කළ හැක්කේ නඩු විභාගයකදී සිදුකරන හරස් ප්‍රශ්න ඇසීම් වැනි නෛතික ක්‍රියාවලියකින් පමණක් වන බැවින්, මෙම අවස්ථාවේදී එම සාක්ෂියේ විශ්වාසනීයත්වය තීරණය කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නැත.”
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සුවිශේෂී කරුණු ලෙස පිළිගැනීමට ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
එමෙන්ම එයාර්බස් සමාගමේ නිලධාරීන් ලබාදී ඇති ප්‍රකාශවල සාක්ෂි සම්පිණ්ඩනයක් සහ විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කළා..
2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා 14ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ලක්ව ඇප මත සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වැනිදා අබිරහස් ලෙස මියගියා.
ඔහුව යළි අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ පසුබිමක සිදුවූ එම මරණය සියදිවි නසාගැනීමක් බවට පොලීසිය සැක පළ කළා..
බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු සහ ප්‍රංශ විමර්ශන අංශ එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකදී එයාර්බස් සමාගම විදේශීය රටවල ගනුදෙනු ලබාගැනීම සඳහා දැවැන්ත අල්ලස් ලබාදුන් බව හෙළිවීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ගනුදෙනුව වෙනුවෙන්ද ඩොලර් මිලියන 16ක අල්ලසක් පොරොන්දු වී ඉන් කොටසක් නිලධාරීන් වෙත මුදාහැර ඇති බවට ජාත්‍යන්තර අධිකරණ හමුවේ කරුණු තහවුරු වුණා.
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහාධිකරණයේ විභාග වන නඩුවේදීද මෙම ‘Sabre Vision Holdings’ සමාගමේ ගිණුම ප්‍රධාන වශයෙන් සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබුනා.
