පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමට අදාළ එයාර්බස් ගනුදෙනුවේ සිදුවූ බව කියන අල්ලස් හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා මීට පෙර සඳහන් කර තිබුණි.
මෙම විමර්ශනයට පසුබිම් වන්නේ 2013 වසරේ ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා Airbus ගුවන් යානා මිලදී ගැනීම හා බදු ගැනීම සඳහා එළඹි ගනුදෙනුයි. බ්‍රිතාන්‍යයේ Serious Fraud Office විමර්ශනයේදී ශ්‍රී ලංකාවේ ගුවන් යානා ගනුදෙනුවට බලපෑම් කිරීම සඳහා මැදිහත්කාර සමාගමකට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් පොරොන්දු වී තිබූ බවත්, ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් ගෙවා තිබූ බවත් අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන්ද මීට පෙර විමර්ශන සිදුකර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා මෙම කැඳවීම සම්බන්ධයෙන් දේශපාලන පසුබිමක් ඇති බවට සැක පළ කර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට සූදානම් වන දේශපාලන රැලියට විශාල ජන සහභාගිත්වයක් ලැබෙනු ඇතැයි ආණ්ඩුව බියට පත්ව ඇති බවත්, ඊට පෙර තමන් අත්අඩංගුවට ගැනීමට පවා ඉඩ ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ශ්වය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබුණේ දේශපාලන රැලි හෝ ජන සහභාගිත්වය ඉලක්ක කරගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවත්, විමර්ශන සහ අධිකරණයට ඉදිරිපත් වන සාක්ෂි අනුව නීතිය ක්‍රියාත්මක වන බවත්ය.
