ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඒ අනුව එම නියෝජිතයින් පිරිස එළැඹෙන සතියේ 10 දින සිට 23 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමටද නියමිතය.
එම දින කිහිපය තුළ ඔවුන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර සහ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර දැනට ක්‍රියාත්මක වන්නේ 2023 මාර්තු 20 වැනිදා IMF විධායක මණ්ඩලය අනුමත කළ මාස 48ක විස්තීරණ ණය පහසුකම් හෙවත් Extended Fund Facility (EFF) වැඩසටහනයි. එහි සමස්ත වටිනාකම SDR බිලියන 2.286ක් වේ. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම, ණය තිරසාරභාවය යළි ස්ථාපිත කිරීම, විදේශ සංචිත ගොඩනැගීම, මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සහ ව්‍යුහාත්මක හා පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.
සැප්තැම්බර් 10 සිට 23 දක්වා පැමිණෙන IMF නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන කාර්යය වන්නේ එම වැඩසටහනේ හත්වන සමාලෝචනය සිදු කරන්නේ 2026 ජුනි අවසානය සඳහා ශ්‍රී ලංකාව එකඟ වී ඇති ප්‍රමාණාත්මක ඉලක්ක, අඛණ්ඩ කාර්යසාධන නිර්ණායක සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පරීක්ෂා කරමිනි. ඒ සමඟම ශ්‍රී ලංකාව පිළිබඳ 2026 වසරේ IMF Article IV Consultation එකද පැවැත්වේ. හත්වන සමාලෝචනය සාර්ථකව අවසන් වී IMF විධායක මණ්ඩල අනුමැතිය ලැබුණහොත් SDR මිලියන 254ක මීළඟ වාරිකයට ශ්‍රී ලංකාවට ප්‍රවේශය ලැබීමට නියමිතය.
දැනට පවතින කාලසටහන අනුව මෙම EFF වැඩසටහන 2027 මාර්තු 19 වැනිදා අවසන් වීමට නියමිතය. හත්වන සමාලෝචනයෙන් පසු තවත් අටවන සහ අවසාන සමාලෝචනයක් ඉතිරිව ඇති අතර එය 2026 දෙසැම්බර් අවසාන දත්ත සහ ඉලක්ක පදනම් කරගෙන 2027 මුල් භාගයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව IMF සමඟ පවතින වර්තමාන ණය වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වුවද, ලබාගත් ණය ආපසු ගෙවීම සහ IMF හි සාමාන්‍ය Article IV ආර්ථික අධීක්ෂණ ක්‍රියාවලිය ඉන් පසුවත් දිගටම පවතී.
