පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා හේතු වූ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ BIZ Solutions INC නැමැති ගිණුමට අල්ලස් වශයෙන් ලද යූරෝ 1,454,651.24 ක මුදලින් ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වෙත හිමිකාරිත්වය ඇති Saber Vision Holdings LTD සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන එම මුදලට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 ක (රු. 100,000,000) මුදලක් ශ්‍රී ලංකා ව්‍යාපාරිකයකු අතින් 2014 හා 2015 වර්ෂවල අවස්ථා කිහිපයකදී අල්ලස් ලෙස ලබාගැනීම ඔහු අත්අඩංගුවට ගැනීමට අදාල කරුණු වේ.
එම අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය, ප්‍රංශයේ Airbus සමාගමේ නිලධාරින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට ලබාදුන් ප්‍රකාශ, ඒ සම්බන්ධයෙන් රැස්කරන ලද ලේඛන හා අනෙකුත් තොරතුරු මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
