22 පෙත්සම් විභාග කළ විදිහ ගැන විරෝධය පා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් විභාගයේදී රජයේ පාර්ශ්වයට වාචිකව පිළිතුරු දැක්වීමට අවස්ථාව අහිමි කිරීමට එරෙහිව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ මෝෂන් පත්‍රයක් ගොනු කර තිබේ.

නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අදාළ මෝෂන් පත්‍රය මඟින් මෙම කරුණු අවධාරණය කර ඇත.

අදාළ මෝෂන් පත්‍රය මඟින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, මෙම නඩු විභාගය ආරම්භ වීමට පෙර අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ එය විභාගයට ගන්නා ලෙස තමන් මුලින් ඉල්ලා සිටි බවයි.

අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ගේ යම් බැඳියාවන් අතර ගැටුමක්හෝ එවැනි පෙනුමක් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම නඩුව ඇසීමට නිශ්චිත විනිසුරුවරුන් පිරිසක් පමණක් තෝරාගෙන ඇති බවට එල්ල විය හැකි මතයන් මුළුමනින්ම බැහැර කිරීම සඳහා එම පියවර අත්‍යවශ්‍ය වූ බව පෙත්සම්කරුවන් සඳහන් කරයි.

මෙම ඉල්ලීමට අනෙකුත් බොහෝ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේද සහාය හිමිව තිබූ නමුත් අදාළ විනිසුරු මඬුල්ල කිසිදු හේතුවක් නොදක්වාම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද මෝෂන් පත්‍රයේ දැක්වේ.

ඉන් අනතුරුව සැප්තැම්බර් 01 වන දින රාත්‍රී 10.30 දක්වා නඩු විභාගය පැවැති අතර, යළිත් සැප්තැම්බර් 02 වන දින පෙරවරු 10.00ට නඩු විභාගය ආරම්භ කෙරුණා.

රජය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්වරයා පෙත්සම්කරුවන්ගෙන් පසුව කරුණු දක්වන බව දැනුම් දීම හේතුවෙන් පළමුව පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීමට සිදුවූ බවත්, ඉන් අනතුරුව පනතට පක්ෂව කරුණු දැක්වූ අතරමැදි පාර්ශ්වයන්ට අවස්ථාව හිමිවූ බවත් පෙත්සම්කරුවන් පවසයි.

පෙත්සම්කරුවන්, අතරමැදි පාර්ශ්ව, සොලිසිටර් ජනරාල්වරයා සහ පෙත්සම්කරුවන්ගේ පිළිතුරු දැක්වීම් ආදී සියල්ල වෙනුවෙන් කාලය මනා ලෙස කළමනාකරණය කරගත යුතු බව විනිසුරු මඬුල්ල විසින් එහිදී පෙන්වා දී තිබූ බවද මෝෂන් පත්‍රයේ සඳහන් වේ.

පනතට අදාළ කිසිදු ප්‍රතිපත්තිමය ලේඛනයක් පෙත්සම්කරුවන් වෙත ලබා දී නොතිබූ පසුබිමක, පනත සාධාරණීකරණය කරමින් සොලිසිටර් ජනරාල්වරයා සැප්තැම්බර් 02 වන දින සවස 5.30 දක්වා සිය කරුණු දැක්වීම සිදු කළ බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීම අවසන් වූ වහාම ඊට වාචිකව පිළිතුරු දීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් ඉල්ලා සිටියද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරුවන් සඳහන් කරයි.

එමඟින් සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණුවලට වාචිකව පිළිතුරු දීමට මෙන්ම විනිසුරුවරුන් විසින් සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසන ලද ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පෙත්සම්කරුවන්ට තිබූ අවස්ථාව අහිමි වූ බව පෙත්සම්කරුවන් පවසයි.

රජයේ තර්කයන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකියාව තිබුණේ එවැනි වාචික පිළිතුරු දැක්වීමක් හරහා පමණක් බව මෝෂන් පත්‍රය මඟින් පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් නඩු විභාගය අවසානයේ අධිකරණයට භාරදීමට නියමිතව තිබූ ලිඛිත දේශන ගොනු කිරීමෙන් තමන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින බව පෙත්සම්කාර නීතිඥවරුන් සිය මෝෂන් පත්‍රය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading