සියඹලා කමින් සිටි හය හැවිරිදි නිවුන් සහෝදරියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගලහ නිල්ලඹේ පදිංචි චනුදි ලක්ෂානි නැමැති දැරියක් බව ගලහ පොලීසිය පවසයි.
මියගිය දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.පී ජයසූරිය මහතා විසින් අද (03) පවත්වනු ලැබීය.
ස්වසනාලයේ පහළ කොටසේ ආගන්තුක ද්‍රව්‍යයක් සිරවීම නිසා ඇතිවූ අවහිරතාව හේතුවෙන් මරණය සිදුව තිබෙන බවට ඒ මහතා තීරණය කර තිබේ.
මරණ පරික්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා හමුවේ පැවැති අතර එහිදී සාක්කි දෙමින් මියගිය දැරියගේ වැඩිමහල් සොයුරිය වන කාංචනා ලක්ෂානි (14) මෙසේ පැවසුවාය.
“මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා නිවුන්නු. සිද්ධිය වුණු 02 වැනිදා අම්මා වැඩට ගියා. තාත්තා ඊට දවස් දෙකකට කලින් පිට පළාතක වැඩට ගිහින් හිටියේ. අම්මා අපිට කෑම උයලා ගියේ. දවල් ඒක කන්න යනකොට වහලේ ගැරඬියෙක් යනවා දැක්කා. අපි තුන් දෙනා බයවෙලා කෑගහනකොට ගැරඬියා ගියා. ඒත් ඌ වහලේ ඉන්නවා ඇති කියලා හිතලා අපි පල්ලෙහා තියෙන ලොකු අම්මලාගේ ගෙදරට ගියා. එහේ ලොකු අක්කා ඔන්ලයින් වැඩ වගයක් කරමින් හිටියා. මම සියඹලා කරලක් අරන් කනකොට නංගිත් ඉල්ලුවා. ඒ ගෙදර ඉන්න පොඩි මල්ලියි අපියි සියඹලා කෑවා. මියගිය නංගී සියඹලා ඇටේ අතේ තියාගෙන ඉන්නවා මම දැක්කා. ටික වෙලාවකින් එය හුස්ම ගන්න බැරිව වගේ දැඟළුවා. මම කෑ ගැහුවා. එතකොට අම්මා ගෙදරරට ඇවිල්ලා හිටියේ. අම්මා ඇවිත් නංගියේ පිටට ගැහුවා. ඊට පස්සේ රෝහලට අරන් ගියා.”
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට පෙරේදා පස්වරු 3.00 ට පමණ දරුවා ඇතුළු කරන විටත් මියගොස් සිට ඇති බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
ගලහ පොලීසියේ පොලිස් සැරයන් 51858 ජයතිලක මහතා විසින් සාක්ති මෙහෙයවනු ලැබීය.
ප්‍රථමාධාර දැනුම අවම වශයෙන් හෝ තිබුණේ නම් මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි.
පෙර පාසල් ගුරුවරුන්ට හා ගැබිණි මව්වරුන්ට හෝ මූලික ප්‍රථමාධාර දැනුම ලබාදීම සඳහා වන වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙම මරණයත් සමඟ පෙනී යන බවද ඒ මහතා කීය.
