මිනිමැරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව කොළඹ මැගසින් බන්ධනාගාරයේදී පහරදීමෙන් මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්ගේ මළ සිරුර වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් විසින් හාරා ඇති බවට සැකයක් පවතින බව ඔහුගේ සොහොයුරා විසින් මත්තේගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.
එසේ පැමිණිලි කර ඇත්තේ මළ සිරුර අධිකරණ නියෝග මත වළ දමා තිබූ මත්තේගොඩ මුස්ලිම් පල්ලිය සුසාන භූමියේ මුරකරු විසින් එම මළ සිරුර වළ දමා තිබූ ස්ථානය හාරා ඇති බවට මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්ගේ සොහොයුරාට කර තිබූ දැනුම් දීමක් අනුවය.
එම මළ සිරුර හඳුනාගත හැකි සලකුණක් සහිතව එම සුසාන භුමියේ වළ දමන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 8 අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබී ඇති අතර ඒ එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කිරීම හේතුවෙනි.
එසේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කර ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්ගේ මළ සිරුර තුළ පහරදීමේ සලකුණු තිබීම හේතුවෙනි. ඔහුගේ මළ සිරුර අගෝස්තු 08 වැනිදා වළ දමා ඇති අතර එදින එම කනත්තේ මුරකරු සේවයේ යෙදී සිට නැත. ඔහු නැවත සේවයට පැමිණ ඇත්තේ අගෝස්තු 15 වැනිදා වන අතර එහිදී ඔහු දැක ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරීෆ්ඩීන්ගේ සිරුර වළ දමා තිබූ ස්ථානය හාරා ඇති බවයි. ඒ බව මුස්ලිම් පල්ලියේ සභාවට මුරකරු දැනුම් දී ඇති අතර සභාවේ පිරිස ඔහුට කියා ඇත්තේ වළ වසා නිහඬව සිටින ලෙසයි.
ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා කොළඹ අලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තබා ඝාතනයට ලක්කළ අවස්ථාවේදී වෙඩික්කරු වශයෙන් පොලීසිය මුලින්ම මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්ගේ ඡායාරූපයක් පළකළේය. එම ඝාතනය සම්බන්ධයෙන් කමාන්ඩෝ සලින්ත නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු ෂෙරිෆ්ඩීන්ගේ සහෝදරිය හා සහෝදරිය අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිය විසින් ඡායාරූප පළකරන ලද සිය සොහොයුරා නොව වෙනත් පුද්ගලයකු දැනුම් දුන්නේය.
