අර්චුනාට මන්ත්‍රී ධුරය අහිමිවේද? යළි විභාගය ඔක්තෝබර් 12

රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම පිළිබඳ විභාගය ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවීමට නියම කර තිබේ.

ඒ අගෝස්තු 31 වැනිදා එම පෙත්සම මායාදුන්නේ කොරයා හා මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාරදෙන අවස්ථාව වනවිට රාමනාදන් අර්චුනා මහතා රජයේ සේවකයකු වශයෙන් කටයුතු කරමින් සිටි නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සකු වශයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් එම පෙත්සම ගොනුකර තිබේ.

ඊයේ එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා කරුණු දක්වමින් කියා ඇත්තේ ඔහු නාම යෝජනා බාරදෙන අවස්ථාවේ වැටුප් රහිත වැඩ තහනමට ලක්ව සිටි බවත්, එම නිසා ඔහු එම අවස්ථාවේ රජයේ සේවකයකු වශයෙන් කටයුතු කරමින් සිටි අයකු නොවන බවයි.

එමෙන්ම අර්චුනා මනක්ත්‍රීවරයාගේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ නාම යෝජනා බාරදෙන අවස්ථාවේ සිය සේවාදායකයා රජයේ සේවකයකු වශයෙන් කටයුතු කළේදැයි අර්ථනිරූපනය කිරීම සඳහා එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසයි.

එහිදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අභියාචනාධිකරණයට බලයක් ඇති හෙයින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම අවශ්‍ය නොවන බවයි.

ඒ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ එම කරුණ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බව හා පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ඔක්තෝබර් 12 හා 13 දිනවල පවත්වන බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading