උතුරු නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සහන සේවා සහ ප්‍රතිසාධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය පරිත්‍යාගයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමි වුණා.
2026 අගෝස්තු 26 වන දින උතුරු නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ හටගත් මෙම දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී මහා පරිමාණයේ දේපළ හානි සිදුවී තිබුණා.
අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වීම, යටිතල පහසුකම් දැවැන්ත ලෙස විනාශ වීම සහ තවදුරටත් ආපදා අවදානම පැවතීම හේතුවෙන් නේපාල රජය සහ ජනතාව දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටිනවා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ඓතිහාසික ආගමික, සංස්කෘතික හා මිත්‍රශීලී සබඳතාව මෙන්ම මෙවැනි ස්වභාවික විපත්වලදී ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් මෙම හදිසි මානුෂීය පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
2026 අගෝස්තු 26 වන දින උතුරු නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ලෙන්ඩේ ඛෝලා සහ ත්‍රිශුලි ගංගා නිම්න ආශ්‍රිතව හිම කඳු සහ පාෂාණ කඩාවැටීමකින් හටගත් මෙම විනාශකාරී ජල රළ හේතුවෙන් නේපාල-චීන දේශසීමාවේ ගයිරොන්ග් මුරපොළ ඇතුළු පාලම් 30කට අධික සංඛ්‍යාවක් සහ ප්‍රධාන මාර්ග රැසක් සම්පූර්ණයෙන්ම සේදී ගොස් දැවැන්ත ජීවිත හා දේපළ හානියක් සිදු වුණා.
මෙම ආපදා තත්ත්වය වාර්තා වූ වහාම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නේපාල විදේශ අමාත්‍යවරයා දුරකථනයෙන් අමතමින් ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය පළ කළ අතර විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව ඕනෑම මොහොතක සහයෝගය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා..
