පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (අගෝස්තු 31) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.
ඒ ඔහු මුදල් අමාත්‍යවරයාව සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් 05 දෙනෙකු තම පෞද්ගලික කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.
මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම පැහැර හැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස වෙත අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අගෝස්තු 29 දින ගොස් තිබුණි.
ඒ මොහොතේ ඔහු නිවසේ සිට නැති අතර, ජුලි 16, ජුලි 30 සහ අගෝස්තු 28 යන දින තුනේදීම රවී කරුණානායක මහතාව අල්ලස් කොමිසමට කැඳවූවද ඔහු පැමිණ නොමැත.
දුවගේ විවාහය, නීතිඥයන් නොමැති වීම යන හේතු දක්වමින් ඔහු මෙලෙස අල්ලස් කොමිසම මගහැර ඇති අතර, අගෝස්තු 28 වැනිදා පැමිණීමට නොහැකි නම් අගෝස්තු 29 වැනිදා පැමිණෙන ලෙස අල්ලස් කොමිසම ඔහුට දැනුම් දී තිබේ.
නමුත් අගෝස්තු 29 දිනත් ඔහු නොපැමිණි නිසා අල්ලස් කොමිසමේ නිලධාරීන් එදින ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත නිවැසියන් පවසා ඇත්තේ, රවී කරුණානායක මහතා ඒ වන විට නුවරඑළිය බලා පිටත්ව ගොස් සිටින බවයි.
කෙසේ වෙතත්, එදින ලබාදුන් දැනුම්දීමට අනුව රවී කරුණානායක මහතා අද දින මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇත.
