අගවිනිසුරු ගැන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ චෝදනාවලට කථානායක ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දයාසිරි විමසයි

අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස ලිපියක් යවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් අද (අගෝස්තු 31) ඉල්ලා ඇත.

එම ඉල්ලීම කිසිසේත්ම අගවිනිසුරුවරයාට හෝ ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියට අගෞරව කිරීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බවත්, එම චෝදනා සත්‍ය නම් සත්‍යය අනාවරණය කර නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා එම චෝදනා අසත්‍ය නම් ඒ බව පැහැදිලිල කර අධිකරණයේ ගෞරවය සහ මහජන විශ්වාශය ආරක්ෂා කිරීමේ අරමුණින් සිදුකරන්නක් බව ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති බවද, ඒ අනුව ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, ගෞරවය සහ මහජන විශ්වාශය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවටද ඉතා වැදගත් වගකීමක් පවතින බව ඔහුගේ විශ්වාශය බවද එහි සඳහන් කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වී ඇති බරපතල ස්වභාවයේ කරුණු හා චෝදනා අතර අගවිනිසුරුවරයාගේ පුත්‍රයා මිලියන ගණනක නිවසක් හිමිකර ගැනීම, ඔහුගේ උප්පැන්න, විවාහ හා දරුවන්ගේ උප්පැන්න සහතික ගැන සැකයන් සහ එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධයෙන් මතුව ඇති කරුණු ඇති බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading