නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට දුන් පොරොන්දු කඩකරමින් 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට උත්සාහ කරන්නේ රට තුළ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ගාල්ල නගර ශාලාවේදී පැවති “සත්‍ය දිනවමු, හොරුත් බොරුත් පරදවමු” මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණය අමතමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව ජනතාවට සහන සලසන නව ව්‍යවස්ථාවක් වෙනුවට අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන ඒමට සැරසෙන බවයි.
මෙම 22 වන ව්‍යවස්ථා සංශෝධන උත්සාහයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු දෙස් විදෙස් බුද්ධිමතුන් දැඩි විරෝධය පළ කර ඇති බව රාජිත සේනාරත්න එහිදී සඳහන් කළා.
ඔහු පවසන්නේ, ආණ්ඩුවේම නියෝජිතයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පවා මෙවැනි තීන්දුවක් ජාතික ජන බලවේගය ගෙන නොමැති බව ප්‍රකාශ කර තිබියදීත්, ආණ්ඩුව බලහත්කාරයෙන් මෙය සම්මත කරගැනීමට උත්සාහ කරන බවයි.
“ආණ්ඩුව ගත්තා, දැන් අපි රාජ්‍යය ගන්නවා” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් සිදුකළ ප්රකාශයන්ට අනුව දිසාපතිවරුන්, විනිසුරුවරුන් මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන් පවා මැතිවරණවලින් තොරව පක්ෂ මූලස්ථානයෙන් තෝරා පත් කරගන්නා කොමියුනිස්ට් ක්‍රමයක් රට තුළ නිර්මාණය කිරීමට ක්‍රියා කරමින් සිටින රාජිත සේනාරත්න පවසනවා.
ලෙනින් හෝ මාඕ සේතුං වැනි නායකයින් වැඩවසම් හා අධිරාජ්‍යවාදී ක්‍රම සමාජවාදී රාජ්‍යයන් බවට පත්කළද, වත්මන් පාලකයන් රනිල් වික්‍රමසිංහ මහතා ගිය IMF මාවතේම ධනපති ක්‍රමය ඔස්සේ වේගයෙන් ගමන් කරන බවද ඔහු සඳහන් කළා.
සමාජවාදී ක්‍රමයක් හෝ ආර්ථික විසඳුම් ගෙන ඒමට නොහැකි වූ තැන, පවතින ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ව්‍යුහය බිඳ දමා ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීම පමණක් ආණ්ඩුවේ සැබෑ අරමුණ වී ඇති බව පැවසූ රාජිත සේනාරත්න වැඩිදුරටත් පවසන්නේ, අතීතයේ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පැමිණි ආකාරයටම මෙරට තුළද ප්රජාතන්ත්රවාදය අහෝසි කර ඒකාධිපතිත්වයක් ගොඩනැගීමට දරන මෙවැනි උත්සාහයන් පරාජය කළ යුතු බවයි.
