අදායම් බදු ගෙවිය යුත්තේ කවුද?

මෙරට පවතින බදු ක්‍රමවේදය සහ ආදායම් බදු අය කිරීමේ පදනම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කළේ, මාසිකව රුපියල් 1,50,000ට වඩා අඩුවෙන් උපයන කිසිදු පුද්ගලයෙකුගෙන් පුද්ගල ආදායම් බදු අය නොකරන බවයි. ලේක් හවුස් සමග ඊයේ (24) පැවැති විශේෂ සංවාදයකදී අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

ලංකාවේ මහජනතාවගෙන් ප්‍රධාන වශයෙන් පදනම් දෙකක් යටතේ බදු අය කරනු ලබන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, පුද්ගලයන් උපයන ආදායම මත අය කෙරෙන බදු සහ ඔවුන් සිදු කරන වියදම්/ගෙවීම් (භාණ්ඩ හා සේවා වටිනාකම) මත අය කෙරෙන බදු ලෙස එය කොටස් දෙකකට වෙන් වන බව සඳහන් කළේය.

ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ගෙන් බදු යන්නේ පදනම් දෙකකින්. එකක් තමයි අපි උපයන ආදායම මත. අනිත් එක අපි වියදම් කරන ගෙවීම් මත, වටිනාකම. ඒකට අපි කියනවා Ad Valorem Tax. ඔය අපි VAT එක කියලා කියන්නේ. ඔබ ගිහින් කඩයෙන් මොනවා හරි භාණ්ඩයක් ගන්නවා, උපකරණයක් ගන්නවා, ඒකට 18% ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඒක අපි පොදුවේ ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙක් කෝටිපතියෙක්ද, ඉතාම දුප්පත් කෙනෙක්ද සියල්ලම ගෙවනවා.

එකතු කළ වටිනාකම මත බද්ද (VAT)

වියදම් මත අය කෙරෙන බදු පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, එය ‘Ad Valorem Tax’ (වටිනාකම මත පදනම් වූ බද්ද) ලෙස හඳුන්වන බවයි. දැනට ක්‍රියාත්මක 18%ක් වූ එකතු කළ වටිනාකම මත බද්ද (VAT) මීට හොඳම උදාහරණය බව ඔහු පෙන්වා දුන්නේය. සාමාන්‍ය වෙළඳසැලකින් භාණ්ඩයක් හෝ උපකරණයක් මිලදී ගැනීමේදී මෙම 18%ක බද්ද අන්තර්ගත වන අතර, එය කෝටිපතියාගේ සිට ඉතාම දුප්පත් පුද්ගලයා දක්වා ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම අයෙකු පොදුවේ ගෙවනු ලබන බද්දක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආදායම් බද්ද අය කෙරෙන පදනම

කෙසේ වෙතත්, ආදායම් බද්ද ක්‍රියාත්මක වන්නේ ඊට වෙනස් පදනමකින් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ආදායම් බද්ද යනු යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සැබවින්ම උපයන ආදායම මත පමණක් පදනම්ව අය කරනු ලබන්නකි.

දැනට පවතින නීතිමය රාමුව අනුව පහත සඳහන් මාර්ග ඔස්සේ උපයන ආදායම් බදුවලට යටත් වේ.

  • රැකියාවෙන් ලැබෙන වැටුප් සහ දීමනා
  • ව්‍යාපාරික කටයුතුවලින් ලබන ලාභය
  • ආයෝජනවලින් ලැබෙන පොලී ආදායම්
  • සමාගම්වලින් ලැබෙන ලාභාංශ (Dividends)
  • වෙනත් ආයෝජන සහ උපයා ගැනීම්

පුද්ගල සහ නෛතික ආයතන බදුකරණය

ආදායම් බද්ද පුද්ගලයන්ට මෙන්ම නෛතික ආයතනවලටද (සමාගම්) අදාළ වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. උදාහරණයක් ලෙස ලේක් හවුස් ආයතනය නෛතික සමාගමක් ලෙස ආයතනික ආදායම් බදු ගෙවන අතර, එම ආයතනයේ සේවය කරන සේවකයන් තමන්ට ලැබෙන වැටුප මත පදනම්ව පුද්ගල ආදායම් බදු ගෙවීමට යටත් වේ.

පුද්ගල ආදායම් බදු අය කිරීමේදී සාමාන්‍ය ජනතාවට සහනයක් වන පරිදි බදු නිදහස් සීමාවක් හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව, වසරකට රුපියල් ලක්ෂ 18 දක්වා (මාසයකට රුපියල් 1,50,000) උපයන පුද්ගලයන් ආදායම් බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇත.

“මාසයකට රුපියල් 1,50,000ට වඩා වැඩිපුර උපයනවා නම් විතරයි ඔබ ආදායම් බදු ගෙවන්නේ. ඊට වඩා අඩු ආදායමක් ලබන කිසිම කෙනෙක් ආදායම් බදු ගෙවිය යුතු නැහැ.”

එබැවින්, පුද්ගල ආදායම් බදු මගින් අඩු ආදායම්ලාභී හෝ මධ්‍යම පාන්තික ජනතාව මත අනවශ්‍ය බරක් පටවා නොමැති බවත්, එය උපයන ආදායම මත පමණක් සාධාරණව අය කෙරෙන බද්දක් බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading