අසේල කුරුළුවංශ
මෙම එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිව තිබෙන දැඩි නියඟයෙන් දිස්ත්‍රික්ක 05 ක වගා බිම් 8000 ක් විනාශ වී තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
හානියට පත් වගා බිම් සඳහා මීලග කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන්ට සහන සැලසීම රජයේ අරමුණ වී තිබෙන අතර ඒ වෙනුවෙන් මේ වනවිට රුපියල් මිලියන 3000 ක් වෙන්තර තිබේ.
මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්‍රික් වල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට වගා බිම් අක්කර 8000 කට පමණ හානි සිදුව තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
වී, බඩඉරිගු, සෝයා, ලොකු ළුෑණු, අර්තාපල් හා අමුමිරිස් සඳහා වගා හානි ගෙවීම් කරන බවත් මේ වනවිට ගොවීන් 7000 ක් පමණ මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.
නියඟයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ හානි වී තිබෙන වගා බිම් ප්‍රමාණය අක්කර 1923 කි.
පොළොන්නරුවේ අක්කර 1229 ක්ද හම්බන්තොට අක්කර 783 ක්ද අම්පාරේ අක්කර 1055 ක්ද මොණරාගල අක්කර 1401 ක්ද විනාශ වී තිබෙන බවට හඳුනාගෙන තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ඇතුළු කණ්ඩායම් වියළි කාලගුණය හමුවේ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක වල වගා බිම් වලට ගොස් හානි තක්සේරු කිරීම් සිදු කරන බව ජාසිංහආරච්චි මහතා පැවසුවේය.
හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ළුෑණු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් උපරිම අක්කර 05 ක් සඳහා වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ.
මේ දක්වා හානි දැනුම් දී නොමැති නම් හැකි ඉක්මනින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යන හානි දැනුම්දීමේ පොතෙහි වගා හානිය සටහන් කිරීමටද පහසුකම් සලසා තිබෙන අතර මේ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීමෙන් ගොවි මහතුන්ට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.
