පසුගිය දිනවල බන්ධනාගාර කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නැවත ඇතිවීම වැළැක්වීමේ පියවරයන් පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සහභාගී වී ඇත.
මෙහිදී බන්ධනාගාර සහ රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් 2018 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කොමිෂන් සභාවේ සභාපතිවරයා යළිත් සිහිපත් කර ඇත.
තවද 2021 සහ 2025 වර්ෂ සඳහා වන ක්‍රියාමාර්ගික සැලසුම් සකස් කිරීමේදී මෙම නිර්දේශ සැලකිල්ලට ගන්නා ලෙස කොමිෂන් සභාව මීට පෙර අවස්ථා වලදී ද යෝජනා කර තිබූ බව ඔහු පෙන්වා දී තිබේ.
රැඳවියන්ගේ ගෞරවය සහ ශරීර අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ආක්‍රමණශීලී ශරීර පරීක්ෂා කිරීමේ ක්‍රම අවම කරමින් ශරීර ස්කෑනර් යන්ත්‍ර හඳුන්වා දීමේ දැඩි අවශ්‍යතාව කොමිෂන් සභාව විසින් පෙන්වා දී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින්, නව උපකරණ මිලදී ගැනීමට පියවර ගනිමින් සිටින බවත්, රැඳවියන්ගේ පුළුල් වාර්තා පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව බන්ධනාගාර මූලස්ථානය විසින් නව දත්ත පද්දතියක් ස්ථාපිත කරමින් පවතින බවත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කොමිෂන් සභාවට තහවුරු කර ඇත.
බොගම්බර සහ මහමෝදර නව බන්ධනාගාර ඉදිකිරීමටත්, ගාල්ල, මාතර සහ වාරියපොළ බන්ධනාගාර වඩාත් ඉඩකඩ සහිත ස්ථාන වෙත මාරු කිරීමටත්, කළුතර සහ බූස්ස බන්ධනාගාරවල නව ගොඩනැගිලි ඉදිකිරීමටත් පියවර ගනිමින් සිටින බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉන් අනතුරුව ප්‍රකාශ කර ඇත.
බන්ධනාගාර තුළ පවතින තදබදය විසඳීම සඳහා ප්‍රජා සේවය සහ නිවාස අඩස්සිය වැනි රඳවා තබා ගැනීමට විකල්ප ක්‍රම පහසු කිරීම පිණිස අදාළ නීති සංශෝධනය කිරීමට සහ සුදුසු තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින බව සාකච්ඡාවට සහභාගී වූ රාජ්‍ය නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මත්ද්‍රව්‍ය චෝදනා මත රඳවා සිටින පුද්ගලයින්ගේ නඩු විමර්ශන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව නිලධාරීන් විසින් තමන්ට පහර දී ඇති බවට රැඳවියන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් කොමිෂන් සභාව විමසූ විට, අභ්‍යන්තර විමර්ශනයක් පවත්වමින් පවතින බවත්, සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
