(අසේල කුරුළුවංශ)
මහනුවර ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහර වීදි සංචාරය ආරම්භ කරත්දී අවසරයකින් තොරව ඩ්‍රෝන යන්ත්‍රයක් ගුවන් ගත කර පෙරහරේ දර්ශන ලබාගත් පුද්ගලයෙකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු මහනුවර වේල්ස්පාක් උද්‍යානයට ඉහළින් වූ මහනුවර නගර නැරඹුම් ස්ථානයේ සිට මෙම ඩ්‍රෝන යන්ත්‍රය ගුවන් ගත කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම ඩ්‍රෝන යන්ත්‍රය ගුවන් ගත කිරීමත් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශයට එය නිරීක්ෂණය වී තිබේ. ඔවුන් පොලීසියට කළ දැනුම් දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කඩුගන්නාව කඩවත්ගම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
