මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් කෝටි හයකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්තක කිරීමටත් ඔහුගේ ඇපකරුවන්ගෙන් ඇප මුදල් අය කර ගැනීමටත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (18) නියම කළේය.
තවද ඇපකරුවන් තිදෙනා ඇප මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ට එම මුදල් ගෙවීම දඩයක් ලෙස සලකන බවත් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනට අත්සන් කර සිටි ඇපකරුවන් තිදෙනා අදාළ ලක්ෂ 10 බැගින් වූ ලක්ෂ 30 ක මුදල ඊයේම (18) දිනම අධිකරණයට ගෙවා අවසන් කෙරිණි.
මෙම නඩුවට අදාළව සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ විවෘත වරෙන්තුව ලබන ඔක්තෝබර් මස 27 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැඩි දුරටත් නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමග නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
සැකකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිවේදීහු පිරිසක් පෙනී සිටියහ.
තවද සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් තිදෙනාට මීට පෙර නඩු වාරයේ දී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසත් අවවාද කර තිබිණි.
ඒ අනුව ඔවුන් ඊට හේතු ලිඛිතව ඉදිරිපත් කර තිබූ අතර එහි නියෝගය ඊයේ (18) ප්‍රකාශයට පත් කෙරිණි.
සැකකාර බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදුවී තිබේ.
ඔහුගේ මස්සිනා වන පශු වෛද්‍ය තිස්ස ගලප්පත්ති හා නැන්දා වන අයෝමි ප්රභාෂාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වූ බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොං හි වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබූ මුදල් වලින් ඔවුන් එම ඉඩම මිලට ගෙන ඇති බව මෙම නඩු විභාගය අතරතුර දී අනාවරණය විය.
එම ඉඩමේ හිමිකරු වූ ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට රුපියල් මිලියන 60 ක මුදල් ගෙවීමෙනි.
ඒ සඳහා ගෙවන ලද මුදල් අයථා අන්දමින් උපයා ගෙන ඇති බව කියමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබිණි.
බැසිල් රාජපක්ෂ මහතා මෙම නඩුවේ තෙවැනි සැකකරු වන අතර පළමු හා දෙවැනි සැකකරුවෝ ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් මස 27 වැනි දින දක්වා කල් තැබිණි.
