මම සංහිදියාව උල්ලංඝනය කළේ නෑ! කරන්න සංහිදියාවක් තිබුණේ නෑ! – නවුෆර්ගේ සම්පූර්ණ විත්තිවාචකය මෙන්න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවට අදාළව තමන් අන්තවාදී ක්‍රියා කළ බවට චෝදනා එල්ල වන කාලවකවානුවේ මෙරට තුළ පෙර සිටම ජාතික සංහිඳියාවක් නොතිබූ බවත් නොතිබූ සංහිඳියාවක් තමන් උල්ලංඝනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් තමන්ව මෙම නඩුවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස පාස්කු ප්‍රහාර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රහීම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි අධිකරණයෙන් ඉල්ලා තිබේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විත්ති කූඩුවේ සිට පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් ඔහු මෙම කරුණු ඉදිරිපත් කළේය.

තමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත් පාපොච්චාරණය නීතියට පටහැනි මෙන්ම ස්වේච්ඡාවෙන් කළ එකක් නොවන බවත් එහි සඳහන් නම හැර අන් සියල්ල අසත්‍ය බවත් මොහොම්මදු ඊබ්‍රහීම් එහිදි පවසා තිබේ.

එමෙන්ම 2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ අන්තවාදී ප්‍රහාර පිටුපස රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක් තිබූයැයි තමන් තේරුම් ගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු විත්තිකරුවන්ගේ සාක්ෂි කැඳවීම ආරම්භ වූ අවස්ථාවේදී මෙම නඩු විභාගය පැවැත්විණි.

පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් නව දෙනෙකු සමඟ එක්ව ජාතික එකමුතුව බිඳ හෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියා සිදුකළ බවට සහ අන්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර සංහිඳියාව බිඳ දැමූ බවට තමන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා 940ම තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව මොහොම්මදු ඊබ්‍රහීම් ප්‍රකාශ කළේය.

ප්‍රහාරය එල්ල වූ දින සවස කැකුණගොල්ලේ සිට කාත්තන්කුඩියේ පිහිටි සිය බිරිඳගේ නිවසට යමින් සිටියදී දඹුල්ලේදී පොලිස් අත්අඩංගුවට පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවත්, වසර එකහමාරක් පමණ රඳවාගෙන සිටියදී තමන්ට පහරදීම් සිදුකළ බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමුතු ආකාරයකට ප්‍රකාශ සටහන් කර මුද්‍රිත ලේඛනවලට අත්සන් ලබාගත් බවත් තමන්ට පහරදීම ගැන අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ මුලින්ම පැමිණිලි කළ බවත් ඔහු කියා සිටියේය.

තම පාපොච්චාරණය සටහන් කරගත් බව කියන විජිත පෙරේරා නමැති නිලධාරියා තමන් නොදන්නා බව පැවසූ මොහොම්මදු ඊබ්‍රහීම් පවසා ඇත්තේ, ISIS සංවිධානයට සහය පළ කරමින් ෆේස්බුක් පළකිරීම් සිදුනොකළ අතර මුස්ලිම්වරුන් ඊට සම්බන්ධ නොවිය යුතු බව සිය දේශනවලින් ප්‍රකාශ කර තිබූ බවයි.

මේ අතර සහරාන් හෂීම් සමඟ තිබූයැයි පවසන සබඳතා පිළිබඳව කරුණු දක්වමින්, 2005 සහ 2006 වසරවල දාරුල් අදර් සංවිධානයේ සිටි සහරාන් පසුව ජාතික තව්හීද් ජමාත් සංවිධානය පිහිටුවූ විට තමන් ඊට විරුද්ධව කටයුතු කළ බවත් අනතුරුව කටාර් රාජ්‍යයට ගොස් එහි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ බවත් මොහොම්මදු ඊබ්‍රහීම් පැවසීය.

සහරාන්ගේ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ලේ දන්දීම වැනි ප්‍රජා සේවා සඳහා ක්‍රියාත්මක වූ බවත් ඔහු සඳහන් කළේය.

2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට, දේපළවලට සහ ඉස්ලාමීය දේවස්ථානවලට හානි කිරීම්, කුරාණ පිටපත් ගිනි තැබීම්, පරිශ්‍රවලට ඌරු මස් විසිකිරීම් සහ කුලියාපිටියේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාළි මහ දවල් පොලිසිය සහ ආරක්ෂක අංශ ඉදිරිපිට සිදුවුවද ඒවා වැළැක්වීමට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ පියවර නොගත් බවද මොහොම්මදු ඊබ්‍රහීම් ප්‍රකාශ කළේය.

මෙය සාමාන්‍ය සිංහල ජනයාගේ ක්‍රියාවක් නොව රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ බෞද්ධ අන්තවාදී පිරිසකගේ ක්‍රියාවන් සහ දේශපාලන හස්තයක් බව තේරුම් ගෙන, ඉස්ලාම් ජනතාව ආගමික පිළිවෙත් නිසි පරිදි නොපිළිපැදීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බව සලකා මවුලවිවරයෙකු ලෙස ජනතාව දැනුවත් කිරීමට ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමඟ එක්ව වැඩසටහන් කළ බව මොහොම්මදු ඊබ්‍රහීම් පැවසීය.

එමෙන්ම 2007 සිට 2017 දක්වා සහරාන් සමඟ සම්බන්ධතාවක් නොතිබූ නමුත් සහරාන් විවාහ වී සිටියේ තම ඥාති කාන්තාවක සමඟ බැවින් සහරාන් සහ ඔහුගේ සහෝදර රිල්වාන් දැන සිටියද පාස්කු ප්‍රහාරයට තම කිසිදු සම්බන්ධයක් නැති බව ඔහු කියා සිටියේය.

නුවරඑළිය සහ හම්බන්තොට බයාන් දේශනවලදී තමන් ආයුධ ගෙන සටන් කළ යුතු බව කී බවට අනාස් නමැති සාක්ෂිකරු දුන් සාක්ෂිය වැරදි බව පෙන්වා දුන් මොහොම්මදු ඊබ්‍රහීම්, ජිහාද් යනු අසීරුවෙන් කරන සෑම ක්‍රියාවක්ම හැඳින්වීමට යොදන වචනයක් බවත් මුස්ලිම් රාජ්‍යයක පාලකයාට වෙනත් ප්‍රදේශයක් ආක්‍රමණය කිරීමට හෝ ආත්මාරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ අරගලයක් කිරීමට අවස්ථාව ඇති බවට කළ පුළුල් පැහැදිලි කිරීමෙන් කොටසක් පමණක් ගෙන සාක්ෂිකරු බොරු සාක්ෂි දී ඇති බවත් පැවසීය.

එමෙන්ම නීතිඥවරු හරස් ප්‍රශ්න විමසූ විට එම සාක්ෂිකරු පිළිතුරු මඟහැර ගිය බවත් තමන්ගේ දේශනවලදී අවි පුහුණුව, ISIS කොඩිය ප්‍රදර්ශනය, බයියත් ප්‍රතිඥාව දීම හෝ ප්‍රහාරකයින් තේරීමක් සිදුනොවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

තවද තමන් සහරාන් හෝ රිල්වාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ කුමන්ත්‍රණය කළ බවට සැලසුම් කළ බවට හෝ සබඳතා පැවැත්වූ බවට පැමිණිල්ල කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවද ඔහු පැවසීය

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් භාරයට ගත් සිය ජංගම දුරකතනය සම්බන්ධයෙන්ද සාක්ෂි ඉදිරිපත් වී නැති බවත් වත්තලදී සහරාන් තමන්ට මිලිමීටර 9 ගිනි අවියක් දුන් බවට පොලිසිය කළ ප්‍රකාශය තහවුරු කිරීමටද කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සමත් වී නැති බව පවසමින් තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස නවුෆර් මවුලවි වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Author

1 Comment

  • මේ මිනිසුන්ට ජාතික සමගිය වැඩක් නෑ. ආගම තමා එක. මානසික රෝගයක්. ලේ වලට කා වැදිලා තියෙන්නෙ.

Comments are closed.

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading