ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය 15%කින් අඩු වෙලා

වත්මන් රජයේ සමස්ත ක්‍රියාකාරීත්වය කෙරෙහි ජනතා කැමැත්ත 50% දක්වා පහත වැටී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම “රට හිතන හැටි” ජනමත විමසුම පෙන්වා දෙයි.

2026 ජූලි මාසයේදී පවත්වන ලද මෙම සමීක්ෂණයට අනුව, පෙබරවාරි මාසයේ වාර්තා වූ 65% ක ඉහළ අනුමැතිය මේ වන විට 49.83% දක්වා පහත වැටී තිබේ. එමෙන්ම රජයේ ක්‍රියාකලාපය අනුමත නොකරන ප්‍රතිශතය ද පෙර පැවති 15% සීමාවේ සිට 31.40% දක්වා ඉහළ ගොස් ඇත.

සමීක්ෂණයේදී ආර්ථිකයේ ඉදිරි ගමන යහපත් වෙමින් පවතී යැයි විශ්වාසය පළ කළ පිරිස පෙර වටයේ 64% සිට 41.63% දක්වා අඩු වී ඇති අතර, එය වඩාත් නරක අතට හැරෙමින් පවතී යැයි ප්‍රකාශ කළ පිරිස 40.29% දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මෙරට වත්මන් ආර්ථික තත්ත්වය දුර්වල මට්ටමක පවතින බවට ජනගහනයෙන් අඩකට වැඩි බහුතරයක් හෙවත් 55.59% ක් මත පළ කර ඇති අතර, එය යහපත් හෝ විශිෂ්ට යැයි සලකන්නේ 38% ක ප්‍රතිශතයක් පමණි. නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ පිරිස හේතුවෙන් මෙම ප්‍රතිශතවල එකතුව 100% ට වඩා මඳක් අඩුවෙන් සටහන් වේ.

වැන්ගාඩ් සර්වේ (Vanguard Survey Pvt Ltd) ආයතනයේ දත්ත එකතු කිරීමේ දායකත්වයෙන් 2026 ජූලි 11 සිට 30 දක්වා කාලය තුළ දිවයින පුරා සසම්භාවී නියැදි ක්‍රමවේදයකට අනුව තෝරාගත් වැඩිහිටියන් 2,013 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම සමීක්ෂණය පවත්වා ඇත.

Author

Related Posts