මහාචාර්ය රවීන්ද්‍රනාත් ඝාතන සිද්ධිය: පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත.

මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා 2006 දෙසැම්බර් 15 දින කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුළ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් අනතුරුව අතුරුදන් වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලදී.

2025 අප්‍රේල් 8 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් අනතුරුව රැඳවුම් නියෝග 4ක් මත දින 359ක් රඳවාගෙන සිටි පිල්ලෙයාන් 2026 අප්‍රේල් 2 දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ හිටපු උප කුලපතිවරයා සෙවණපිටිය කඳවුරට රැගෙන ගොස් ඝාතනය කර, පුළුස්සා ඇති බවයි.

පොළොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන මෙම රහසිගත වධකාගාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත කරුණු වාර්තා කර තිබේ. මෙම කඳවුර පවත්වාගෙන යාම සඳහා කිසිදු නිල අනුමැතියක් ලබා දී ඇත්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඛිතව විමසා ඇති අතර, ඊට පිළිතුරු සපයමින් ජාතික බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ එවැන්නක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading