අගෝස්තු 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ 50%ක වාහන ආනයන බදු අධිභාරය එළඹෙන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඉදිරියේදී මෙරට වෙළඳපොළේ වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මෙම තීරණයත් සමඟ ඉදිරියේදී විවෘත කරන ණය පත්‍ර (LCs) යටතේ ගෙන්වන වාහනවල මිල ගණන් ඉහළ යන ආකාරය පිළිබඳව එම සංගමය විසින් ගණන් බලා ඇති අන්දම පහත සඳහන් වේ.
- සුසුකි වැගන් ආර් (Suzuki Wagon R): රුපියල් 500,000 කින්
- ටොයෝටා රේස් (Toyota Raize): රුපියල් මිලියන 1 කින්
- හොන්ඩා වෙසල් (Honda Vezel): රුපියල් මිලියන 1.5 සිට 2 දක්වා
- ඩබල් කැබ් (Double Cab): රුපියල් මිලියන 2 සිට 2.5 දක්වා
- ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado): රුපියල් මිලියන 3 කින්
- ලෑන්ඩ් කෲසර් (Land Cruiser): රුපියල් මිලියන 5 කින්
මෙරට ආර්ථික අර්බුදයත් සමඟ පනවා තිබූ වාහන ආනයන තහනම පසුගිය වසරේදී ඉවත් කළද, පසුගිය මැයි 15 වනදා සිට මාස 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනයේදී 50%ක රේගු බදු අධිභාරයක් පැනවීමට රජය පියවර ගන්නා ලදී.
අදාළ අධිභාරය ඊයේ දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද, එම 50% රේගු බදු අධිභාරය නැවතත් මෙවසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සිලෝන් මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කළේ, දැනට ප්‍රදර්ශනාගාර තුළ පවතින වාහනවලින් 90%ක්ම මැයි 15 දිනට පෙර විවෘත කරන ලද LCs යටතේ ගෙන්වා ඇති බැවින් ඒවා සඳහා මෙම අධිභාරය අදාළ නොවන බවයි. කෙසේවෙතත්, මැයි 15 දිනෙන් පසුව විවෘත කළ LCs යටතේ මේ වන විට නිදහස් කරගනිමින් පවතින නව වාහන සඳහා ඉහළ බද්ද අයකරන බැවින් එම මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.
අධිභාර පනවමින් නිතර නිතර මිල ගණන් වෙනස් කිරීමට පියවර නොගෙන, ණය ලේඛන නිකුත් කිරීමේ සීමාවන් සහ අලුත් බදු ප්‍රතිපත්තිමය ක්‍රමවේද හරහා ආනයනයන් පාලනය කරමින් ස්ථාවර මිල මට්ටමක් පවත්වාගෙන යාමට රජයට හැකියාව ඇති බවද සිලෝන් මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ වැඩිදුරටත් අවධාරණය කරයි.
“මේ වගේ මිල අවශ්‍ය විදිහට නිතර නිතර වෙනස් කරන්නේ නැතුව, වෙන ටූල්ස් තියෙනවා මේ එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපේ තියෙනවා අලුත් බදු ප්‍රතිපත්තියක් වෙනස් කරන ක්‍රමයක්, LCs කන්ට්‍රෝල් කරන්න පුළුවන් ක්‍රම. ඒ තුළින් අපිට පුළුවන් මිල චලනය වෙන එක නවත්තලා, එක ෆික්ස් මිලක් තියලා, ඉම්පෝට් එක ආණ්ඩුවට අවශ්‍ය නම් රිස්ට්‍රික්ට් කරගන්න.”
මේ අතර, මෙම බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් සඳහන් කළේ පසුගිය කාලය පුරා ණය ලිපි (LC) විවෘත නොවීම හේතුවෙන් වාහන මිලදී ගත්තද ඒවා ගෙන්වා ගැනීමට නොහැකි වූ බවයි. අගෝස්තු 15 වනදායින් පසු මෙම තත්ත්වයට සහනයක් ලැබෙනු ඇතැයි සමාජය තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණද, පවතින තත්ත්වය හමුවේ රජයටද එවැනි පියවරක් ගැනීම අපහසු බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී සිදුවිය හැකි වාහන විකුණුම් මිල ගණන් පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.
ඒ අනුව, Yaris Cross (X Grade) රථයක් රුපියල් ලක්ෂ 105කට පමණද, Toyota Raize හයිබ්‍රිඩ් රථයක් ලක්ෂ 150 – 155ත් අතර මුදලකට සහ එහි පෙට්‍රල් රථයක් ලක්ෂ 140කට පමණද ඉහළ යා හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. මීට අමතරව Honda Vezel Play රථයක විකුණුම් මිල රුපියල් ලක්ෂ 225ක් දක්වා ඉහළ යාමේ වැඩි ඉඩකඩක් පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
වාහන ආනයන බදු අධිභාරය පැනවීම හමුවේ පාරිභෝගිකයන් මුහුණදෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගු පෙන්වා දෙන්නේ පවතින අධික බදු අනුපාත හමුවේ මෙම තීරණය පාරිභෝගිකයාට දැඩි ලෙස බලපාන බවයි. වාහන ආනයනය සඳහා තහනමක් නොමැති වුවද, පනවා ඇති බදු ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින බව ඒ මහතා සඳහන් කරයි.
මේ අධිභාරය කියන්නේ ඇත්තටම පාරිභෝගිකයාට ලොකුවට බලපාන දෙයක්. දැන් මේක සීමාවක් නෙවෙයිනේ, වාහන ආනයනය කරන්න පුළුවන්. නමුත් ටැක්ස් (tax) එක ඉතින් ටිකක් සැරයි. කාටහරි වාහනයක් ගන්නවා නම් 40%යි ඒ බැංකු ලෝන් (loan) එකක් ගන්න පුළුවන්.
වත්මන් බැංකු නීති පද්ධතියට අනුව වාහනයක් මිලදී ගැනීමේදී ලබාගත හැක්කේ 40%ක උපරිම ණය අනුපාතයක් (LTV – Loan to Value ratio) පමණි. රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ රේගු බදු අධිභාරය ඉවත් කිරීමට රජයට අපහසු වන්නේ නම්, පාරිභෝගිකයන්ට යම් සහනයක් සැලසීම සඳහා මෙම LTV අනුපාතය 50% – 60% දක්වා ඉහළ නංවන ලෙස උප සභාපතිවරයා ඉල්ලා සිටියි.
මිනිසුන් වාහනයක් මිලදී ගන්නේ දැඩි ආසාවකින් සහ අවශ්‍යතාවයකින් බැවින්, අවම වශයෙන් මෙම ණය පහසුකම් සීමාව හෝ ලිහිල් කර සහනයක් ලබාදෙන ලෙස ඔහු වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටී.
