ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කරලා

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමඟ වේගයෙන් ඒකාබද්ධ වීම හා නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක්වී ඇත.

එසේ සාකච්ඡාවට ලක්වී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය අද (අගෝස්තු 17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ යුධ, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ලඟා විය හැකි බවයි.

ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය කුෂලතා වැඩි දියුණු කිරීම සහ නව දැනුම අත්පත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන ඉහළ නැංවීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බව ඒ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

Author

Related Posts