පොලිසිය සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේදී අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය රෝහල්ගත කර තිබූ අතර, පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ නමැත්තා මිද්දෙනිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට ලක්ව සිටින පුද්ගලයෙකි.
2025 පෙබරවාරි 18 වැනිදා මිද්දෙනියේදී අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙසද බැකෝ සමන් පොලිසිය විසින් නම් කර තිබුණි. එම ඝාතනය බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ පළිගැනීමක් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි. අත්අඩංගුවට ගත් වෙඩික්කරු ද බැකෝ සමන්ගේ කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය සිදුකළ බවට ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කර තිබුණි.
ඒ අනුව බැකෝ සමන් සහ ‘තැඹිලි ළහිරු’ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා 2025 මාර්තු මාසයේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.
බැකෝ සමන් විදේශගතව සිටියදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුර නිලංග සහ තැඹිලි ළහිරු ඇතුළු පිරිසක් සමඟ 2025 අගෝස්තු 27 වැනිදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසිය සහ ඉන්දුනීසියානු පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් එම පිරිස අගෝස්තු 30 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව බැකෝ සමන් සහ තැඹිලි ළහිරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර, සැකකරුවන් පස්දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන තිබුණි.
බැකෝ සමන් මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවටද පොලිසිය විමර්ශන සිදුකරයි. ඇඹිලිපිටිය මහාධිකරණයේ පවතින වෙනත් නඩුවකදී හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එම මත්ද්‍රව්‍ය බැකෝ සමන්ට අයත් බවට ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. විදේශගතව සිටියදී ශ්‍රී ලංකාවේ ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.
බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව 2025 සැප්තැම්බර් මාසයේදී මිද්දෙනිය ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 50,000කට ආසන්න රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර, පසුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබුණේ එම ද්‍රව්‍ය අතර ‘අයිස්’ හෙවත් ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් නිෂ්පාදනයට යොදාගත හැකි රසායනික ද්‍රව්‍ය ඇති බවය.
බැකෝ සමන්ගේ මව ඉලක්ක කර අද එල්ල වූ වෙඩි ප්‍රහාරයට හේතුව සහ වෙඩික්කරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
