සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ප්රධාන සැකකාරිය වන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුෂවිතාන මහතා අද (10) නියෝග කර තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග මත තබාගෙන ප්රශ්න කෙරුණු මෙම සැකකාරිය, රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය, ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා සැකකාරිය ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, එදිනට විමර්ශනවල නවතම ප්රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කර තිබේ.
2025 පෙබරවාරි 19 වන දින කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්රාත් අධිකරණ සංකීර්ණය තුළදී නඩුවකට පෙනී සිටීමට පැමිණි සංජීව කුමාර සමරරත්න නොහොත් “ගණේමුල්ල සංජීව” නමැත්තා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
මෙම ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය, පිටු කපා සකස් කරන ලද පොතක් තුළ සඟවාගෙන අධිකරණ ශාලාව තුළට රැගෙන ඒමට සහ වෙඩික්කරුට සහාය දැක්වීමට ප්රධාන වශයෙන් ක්රියා කර ඇත්තේ ඉෂාරා සෙව්වන්දි නමැති මෙම සැකකාරිය බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් අනතුරුව නීතියෙන් බේරීම සඳහා ඇය නේපාලයට පලාගිය අතර, ශ්රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නේපාල ආරක්ෂක අංශ එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව නේපාලයේදී ඇයව අත්අඩංගුවට ගන්නා ලදී. පසුව 2025 ඔක්තෝබර් මාසයේදී මෙරටට රැගෙන ආ සැකකාරිය, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්රශ්න කිරීම්වලට ලක් කෙරිණි.
