ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාට එල්ල වී ඇති චෝදනා අපැහැදිලි බව ප්‍රකාශ කරමින්, ඔහුව ඇප මත මුදා හරින ලෙස කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
පිටු 17 කින් යුත් නියෝගය ප්‍රකාශයට පත් කරමින්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහුව මුදා හරින ලෙස නියෝග කළේය. එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර, ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ද නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද දින මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී, අද (10) පෙරවරු 10.45 ට චෝදනා පහදා දී අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ, වර්තමාන 37 වන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සහ ඒ තුළින් ඒ මහතාට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙනි. ඒ අනුව සැකකරු අද (10) පස්වරු 3.30 ට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරමින් B වාර්තාවක් ද සමගින් කරුණු වාර්තා කළේය.
එහිදී එම ඒකකය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන බවයි.
එහිදී කරුණු දක්වමින් නිලධාරීන් සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ විහාරාධිපතිවරුන් තිදෙනෙකු පැමිණිලි කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර අද දින සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කැඳවීමක් කළ බවත්ය. ඉන්පසුව චෝදනා පහදා දී පෙ.ව. 10.45 ට අත්අඩංගුවට ගත් බව ද පැවසීය. එමෙන්ම සැකකරුට දණ්ඩ නීති සංග්‍රහයේ 102, 108, 113, 114, 120, 186, 486 යන වගන්ති යටතේ චෝදනා ගොනු කරන බව ද දන්වා සිටියේය.
“ස්වාමීනි, පොලිස්පතිවරයා අපට පැමිණිල්ලක් කළා මේ පුද්ගලයා ඉකුත් 03 වැනිදා රටේ මිලියන 20ක ජනතාව ඉදිරියේ කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්. වර්තමාන පොලිස්පතිවරයා දැනට රටේ විශාල අපරාධකරුවන්, විදෙස්ගත අපරාධකරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් වගේම දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක්. ඒ නිසා පොලිස්පතිවරයාට මරණ බියක් තියෙනවා. මොකද ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් වුණු පොලිස්පතිවරයා නිසා. මේ සැකකාර පුද්ගලයා නීතිඥවරයෙක්. නමුත් ඔහු එම වෘත්තියේ සදාචාරය සහ ගෞරවය කෙලෙසමින් තමයි ක්‍රියා කරලා තියෙන්නේ. අපට සැකයක් තියෙනවා මේ ප්‍රකාශ කරන්නේ කිසිවෙකුගේ හෝ උවමනාවකට බව. දැනට හිරු ආයතනය පමණයි සංස්කරණය නොකළ දර්ශන ලබා දුන්නේ. ඒ නිසා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අගෝස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”
මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කරයි :- “113, 114 යටතේ චෝදනා පවත්වාගෙන යන්නේ කෙසේද? ඒ වගේම 102, 108, 113 වගන්ති කුමකට අදාළද? ඒ වගන්ති තුනට ස්වාධීනව පවතින්න බෑ. අනුබල දීම එකක්, තැත් කිරීම තව එකක්. ඒවාට දෙන දඬුවම් වෙනස්. 120 යනු රාජ්‍යයට එරෙහිව විරුද්ධත්වය ඇවිස්සීම හෝ තැත් කිරීම, 186 යනු රාජකාරියට බාධා කිරීම. චෝදනා පැහැදිලි මදි. සිද්ධියට අදාළව මෙහිදී චෝදනා ගම්‍ය වන්නේ නෑ.”
CCIB :- “ස්වාමීනි, කුමන්ත්‍රණය හා පෙළඹවීම මගින් පොලිස්පතිවරයාගේ ජීවිතයට තර්ජනයක් කිරීම 296 වගන්තිය යටතේ බැඳී පවතිනවා.”
ඉන් අනතුරුව සාගර කාරියවසම් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දැක්වීය.
“ස්වාමීනි, මේ අයට චෝදනා පවා ගොනු කර ගන්න බෑ. අඩු තරමේ මේ අය මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයවත් හරියට අධ්‍යයනය කරලා නෑ. මං ඉදිරිපත් කරනවා ඒ කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම. මං මේ ප්‍රකාශයේ යම් තැන් කිහිපයක් පෙන්වා දෙන්න කැමතියි ස්වාමීනි. ස්වාමීනි, මේ ප්‍රකාශයේ කොතැනකවත් පොලිස්පතිවරයාට මරණ තර්ජනයක් කරලා නෑ. මුල ඉඳන් බැලුවොත් ඒක පේනවා. නමුත් ඔබතුමාට ඒක පෙනෙයි කියලා තමයි මේ අය කොටසක් විතරක් පෙන්වන්නේ. මේ සියලු චෝදනා ඇප දිය හැකි චෝදනා. මේ පුද්ගලයාට මීට පෙර කිසිම උසාවියක නඩුවක් නෑ. එන්න කියපු වෙලාවටම විමර්ශන සඳහා සහය දීමට පැමිණියා. මෙතැනදී කියන්නේ මේ ආණ්ඩුව පත් වුණාට පසු 34, 35, 36 යන පොලිස්පතිවරුන්ට අත්වුණු ඛේදනීය ඉරණම මේ පොලිස්පතිවරයාට අත් නොවීමට නම් ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කරන්න කියලයි.”
මහෙස්ත්‍රාත්වරයා :- “නමුත් මේ පුද්ගලයා පක්ෂයක නායකයෙකු ලෙස ශිෂ්ට සම්පන්න සමාජයක යහපැවැත්ම සඳහා භාෂාව හරියට භාවිත කළ යුතුයි නේද? මේක ප්‍රාථමික ගෝත්‍රික සමාජයක් නෙවෙයි. මේ ප්‍රකාශ ඒ පුද්ගලයාගේ බිරිඳට, දරුවන්ට අපකීර්තියක් ගෙනෙන්න පුළුවන්.”
සම්පත් මෙන්ඩිස් :- “නමුත් ස්වාමීනි, මේ අවස්ථාවේ ඒ කොටස දිහා විතරක් බලන්න එපා කියලා ඉල්ලනවා.”
මහෙස්ත්‍රාත්වරයා :- “ඔබේ ස්ථාවරය හරි, නමුත් එකෙන් කෙනෙකුට රිදෙනවා නම් ඒක හරි නෑ. මේ පුද්ගලයා මේක කිව්වේ මහජන මාධ්‍යයක. මෙයා දේශපාලන නායකයෙක්.”
සම්පත් මෙන්ඩිස් :- “ස්වාමීනි, මේ පැමිණිල්ලේ පරස්පරතා තියෙනවා. මේ චෝදනා අපැහැදිලියි. විශේෂයෙන් ජීවත් වෙලා ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන් 296 වගන්තිය පවත්වාගෙන යා නොහැකියි.”
මහෙස්ත්‍රාත්වරයා :- “නමුත් පාරේ ගහලා මරනවා කියන ප්‍රකාශය බරපතලයි. ඒ ගැන ඔබලා කිසිවක් කියන්නේ නෑ.”
සම්පත් මෙන්ඩිස් :- “ස්වාමීනි, අපි කියන්නේ මරනවා කියලා නෙවෙයි. එහෙම දෙයක් වෙනවට කැමති නෑ කියලා.”
මහෙස්ත්‍රාත්වරයා :- “නීතිය බැඳී සිටිනවා ජීවිත සහ දේපළ ආරක්ෂා කරන්න. යමෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්න ප්‍රවේශයක් තිබිය යුතුයි. කාට හරි හෙට මෙහෙම විනිසුරුවරයෙකුට හෝ නීතිඥවරයෙකුට කියන්න පුළුවන් ‘ඔබ මේ නඩුවට ඉන්න එපා, ගහලා මරයි’ කියලා. ඒක ඉතා බරපතලයි. සමාව ඉල්ලා කනගාටුව ප්‍රකාශ කරන්න කැමති නැද්ද?”
සම්පත් මෙන්ඩිස් මහතා ඒ අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි සාගර කාරියවසම් මහතාගෙන් ඒ පිළිබඳව විමසීය.
මඳ වේලාවකට පසු,
සම්පත් මෙන්ඩිස් :- “මේ සම්බන්ධයෙන් අප පොලිස්පතිවරයාට කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.”
මහෙස්ත්‍රාත්වරයා :- “එහි ‘සමාව’ කියන කොටස නැද්ද?”
සම්පත් මෙන්ඩිස් :- “අපි ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා පමණයි ස්වාමීනි.”
ඉන් අනතුරුව විනිසුරුවරයා නියෝගය ලබා දීම පස්වරු 5.30 දක්වා කල් තැබීය.
එහිදී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය ඉල්ලා සිටි සියලුම නියෝග ලබා දුන් අතර, මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.
වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසගත වෙනවාට තමන් අකැමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.
