බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂකීබ් අල් හසන්ගේ මගුරා ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (5) පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා නවදිල්ලියේ සිට පැවැත්වූ මාධ්‍ය හමුවකට ෂකීබ් අල් හසන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ධකා අගනුවර සිට කිලෝමීටර් 170ක් පමණ නිරිතදෙසින් පිහිටි මගුරා නගරයේ කේෂබ්මෝර් ප්‍රදේශයේ පිහිටි ෂකීබ් අල් හසන්ගේ පාරම්පරික නිවසටයි. හඳුනානොගත් පිරිසක් විසින් නිවසට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් ජනේල වීදුරු කඩා දමා ඇති අතර, ඉන් අනතුරුව නිවසේ ඉහළ මහලට පෙට්‍රල් බෝම්බ හෙළීම නිසා ගිනිගැනීමක් ද සිදුව තිබේ. කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් රැඳී සිට නැති බැවින් සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැත.

2024 වසරේ පැවැති මහ මැතිවරණයේදී ෂකීබ් අල් හසන්, ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීග’ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2024 වසරේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ෂෙයික් හසීනා බලයෙන් පහවීමෙන් පසුව, ෂකීබ් අල් හසන් ද විදේශගතව සිටී.

අගෝස්තු 5 වනදා ෂෙයික් හසීනා සංවිධානය කළ online මාධ්‍ය හමුවට ෂකීබ් අල් හසන් එක්වීමත් සමඟ ඔහුගේ ගමේ පැවැති නොසන්සුන්තාව හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට සැකකෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවාමි ලීග පක්ෂය චෝදනා කරන්නේ මෙය දේශපාලන පළිගැනීමක් ලෙස සිදුකළ සැලසුම්සහගත ප්‍රහාරයක් බවයි. ප්‍රහාරයෙන් පසු අදාළ නිවස අසල පොලිස් ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

Author

Related Posts