විමල් වීරවංශ , උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළා.
ඒ, පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 7 සහ 15 අතර පැවැති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමේ චෝදනාවට අදාළවයි.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අද කරුණු වාර්තා කළා.
එහිදී අධිකරණය තීරණය කළේ මෙම පුද්ගලයින්ගේ ප්‍රකාශවලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය කර ඇති බව බැලූ බැල්මට පෙනී යන බවයි.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පුද්ගලයින්ට එරෙහිව අභියාචනාධිකරණයේ චෝදනා ගොනු කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගේ රැඳවුම් නියෝග මත නීත්‍යානුකූලව රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සාලේ සම්බන්ධයෙන් දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න යන අය සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙරද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝෂන් පත්‍රයක් මඟින් කරුණු වාර්තා කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබුණේ, සැකකාර සුරේෂ් සලේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටි කාලසීමාව තුළදී, මෙම දේශපාලන ක්‍රියාකාරීන් පිරිස අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය කෙරෙහි මහජන අප්‍රසාදයක් සහ සැකයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වධකාගාරයක් ලෙස හුවාදක්වමින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස කළ ප්‍රකාශ විමර්ශනවලට අගතිදායක වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අවධාරණය කළා.
සුරේෂ් සලේ රඳවා සිටින සිරමැදිරිය ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය ලද නිල ස්ථානයක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද ඒ පිළිබඳව වාර්තා කර ඇති බවත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශකයින්, මෙය මහේස්ත්‍රාත්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන නීත්‍යානුකූල රඳවාගැනීමක් බව පෙන්වාදුන්නා.
මෙම විමර්ශනවලට අදාළව සැකකරුවන් සිදුකළ ප්‍රකාශ ඇතුළත් සංරක්ෂණය නොකළ වීඩියෝ පට ලබාගැනීමට විද්‍යුත් මාධ්‍ය ආයතන 10ක් වෙත නියෝග නිකුත් කිරීමටද අධිකරණය පියවර ගෙන තිබුණා.
