අධිකරණ පද්ධතියේ ගොඩගැසෙමින් ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් යෝජනාවක් අද (අගෝස්තු 04) කථානායකවරයාට බාර දී තිබේ.
නඩු ගොඩ ගැසීමට හේතු සහ ඊට කෙටිකාලීන, මැදිකාලීන සහ ස්ථිරසාර විසඳුම් සෙවීමත්, බන්ධනාගාර තදබදය අවම කිරීමට මෙන්ම බන්ධනාගාර තුළ සිදුවන ගැටුම්වලට තිත තැබීමට ගතයුතු ස්ථිරසාර විසඳුම් වහාම යෝජනා කිරීම සඳහා ස්ථාවර නියෝග 100-110 අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස එම යෝජනාව මගින් ඉල්ලා තිබේ.
එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මේ වනවිට ගොඩගැසී ඇති මුළු නඩු සංඛ්‍යාව මිලියන 1.1 කට වඩා අධික බව අධිකරණ අමාත්‍යාංශයේ දත්ත වාර්තා පෙන්වා දී තිබෙන බවයි.
නඩු ප්‍රමාණයට සාපේක්ෂව විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කර නොමැතිවීමත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමත්, රජයේ රස පරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්රමාදවීමත් මෙම නඩු ප්‍රමාදයට හේතුවක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බවත්, බන්ධනාගාර දෙපාර්තමේන්තු දත්තවලට අනුව බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගෙන් 75%ක් පමණ පිරිසක් තවමත් නඩු කටයුතු අවසන් නොවීම හේතුවෙන් බන්ධනාගාරගත වූ පිරිස් බවත් එහි තවදුරටත් සඳහන් කර තිබේ.
