ඇමති හර්ෂණ මහා නා හිමිවරු හමු වෙයි – “එක්කෙනෙක් ඉලක්ක කරගෙනක මේක කරා කියන එක අමූලික බොරුවක්”

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළව සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතට අදාළ නීත්‍යානුකූල විවරණය නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව වාර්තා වේ. මෙම නීතිමය විවරණය ලැබීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත සකස් කර ඉදිරියේදී ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගනු ඇත.

මේ අතර අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ජන මාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ හමු විය.

එහිදී වර්තමාන සමාජයේ පුළුල් අවධානයට ලක්ව ඇති අධිකරණ පද්ධතිය හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව මහා නාහිමිපාණන් දැනුවත් කරමින් ඊට රජය ලබාදී ඇති හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විසඳුම් පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.

අධිකරණ පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට සමගාමීව අධිකරණ සංඛ්‍යාව ඉහළ නැංවීම, සමස්ත පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සහ නව විනිසුරු හා කාර්ය මණ්ඩල බඳවා ගැනීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි රජයේ අවධානය කරන බව එහිදී මහා නා හිමිවරුන් හමුවේ පවසා ඇත.

එසේම, බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ගේ කාලය අවම කිරීමේ අරමුණින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීමටද පියවර ගන්නා බව පැවසෙන අතර මීට අමතරව, ඉදිරි අයවැය මඟින් විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නංවමින් අත්දැකීම් සහිත නිලධාරීන් සේවයේ රඳවා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරන බව අමාත්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හමුවෙන් පසුව මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන්, මේ සියලුම කටයුතු එක් පුද්ගලයෙක් උදෙසා සිදු කරන්නේද යන්න විමසා සිටියහ. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ එය අසත්‍යක් බවයි.

එක් විනිසුරුවරයෙකු ඉලක්ක කරගනිමින් විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව එහිදී ඔහු සඳහන් කළේය. දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, මහාධිකරණ විනිසුරුවරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස එක හා සමානව දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ද එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

මෙම තීරණය කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ගත් එකක් නොවන අතර, සමස්තයක් ලෙස නඩු කටයුතු ඉක්මනින් විභාග කර අවසන් කිරීම සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පුළුල් ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

“අපි එක් විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන වැඩ කරානම් හෝ, එක ශ්‍රේෂ්ඨාධිකරණය විතරක් වැඩිකරන්න හිතනවා නම් ඔය කියන තර්කය හරියනවා. නමුත් මෙතන අපි සිද්ධ කරන්නේ දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, මහාධිකරණ විනිශ්චයකාරතුමන්ලා සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන සියලුම දෙනාගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරන්නේ එක හා සමානව. ඉතිං සමස්තයක් වශයෙන්ම ඉක්මනින් නඩු අහන්න, ඉවර කරන්න, කාර්යක්ෂම කරන්න ගත්ත ක්‍රියාවලියෙ එක කොටසක් පමණයි මේ විශ්‍රාම වයස වැඩි කිරීම. එක්කෙනෙක් ඉලක්ක කරගෙනක මේක කරා කියන එක අමූලික බොරු චෝදනාවක්.” යනුවෙන් අමාත්‍ය හර්ෂණ නානායක්කාර එහිදී පවසා සිටියේය.

Author

Related Posts