ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) පරිහානියට ලක්වීමට ඉඩ නොදී රැකගැනීම සඳහා ලංකා බැංකු සේවක සංගමය (CBEU) දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇත. වර්තමාන පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකලාපයට සහ දූෂිත පාලනයට එරෙහිව මෙම පියවර ගන්නා බව පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පැවසිය.
ලංකා බැංකු සේවක සංගමය පෙන්වා දෙන පරිදි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තුළ වර්තමානයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, ඒ සඳහා ප්‍රධාන චෝදනා රැසක් එල්ල වේ. රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය මගින් සංවර්ධන බැංකුවක අවශ්‍යතාව පැහැදිලිව දක්වා තිබුණද, දැනට පවතින එකම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශක්තිමත් කිරීමට පාලකයින් අසමත් වී තිබීම ප්‍රධාන ප්‍රතිපත්තිමය මඟහැරීමක් බව රන්ජන් සේනානායක බවසා තිබේ.
එමෙන්ම, බැංකුවේ මූලික අරමුණු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන සභාපතිවරයා, ආයතනික යහපාලන විධිවිධාන පවා උල්ලංඝනය කරමින් මෙහෙයුම් සහ පරිපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වෙමින් අත්තනෝමතික පාලනයක නිරත බව පවසයි.
“මේ ආයතනික යහපාලන විධිවිධාන සම්බන්ධයෙන් වගවීම තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. අපි ශ්‍රී ලංකා මහ බැංකුවට පෙන්වා දුන්නා සභාපතිවරයා බැංකුවේ මෙහෙයුම් කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා. ඒක මහ බැංකුවේ ආයතනික යහපාලන විධිවිධාන වලට පටහැනියි. මෙන්න මේ මේ කාරණා කියලා අපි ඉතා පැහැදිලිව කරුණු සහිතව මහ බැංකුවට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අද වෙනකම් මහ බැංකුව පියවරක් අරගෙනත් නැහැ.“‘
ලංකා බැංකු සේවක සංගමය රජයේ සහ මහ බැංකුවේ පවතින උදාසීන පිළිවෙත දැඩි ලෙස ප්‍රශ්න කර සිටී. දූෂණයට හා වංචාවට එරෙහිව තිත තැබීමේ පොරොන්දුව පිට බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ බලධාරීන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තුළ මෙලෙස දූෂිත පුද්ගලයින් රඟදක්වමින් බැංකුව අනතුරේ හෙළීමට උත්සාහ කරද්දීත් නිහඬව සිටින්නේ මන්දැයි සංගමය ප්‍රශ්න කරයි.
මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලමින් 2025 අගෝස්තු මාසයේදී ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා වෙත පැහැදිලි ලිපියක් යොමු කළ අතර, ඉන්පසු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරමින් කරුණු පැහැදිලි කළද අද වන තෙක් ඒ පිළිබඳ කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැත. අනික් පසින් ආයතනික යහපාලන විධිවිධාන සුරැකීමේ වගකීම ඇති ශ්‍රී ලංකා මහ බැංකුව වෙතද සභාපතිවරයා බැංකුවේ මෙහෙයුම් කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වන ආකාරය පිළිබඳව කරුණු සහිතව පෙන්වා දුන්නද, ඔවුන්ද අද වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට සංගමය දැඩි කණගාටුව පළ කරයි.
මීට අමතරව, පසුගිය පාලන සමයන්හි දූෂණ චෝදනාවලට ලක්වූ පුද්ගලයින්ට සහ අවස්ථාවාදී කල්ලිවලට බැංකුව තුළ නැවත බලය හිමිව තිබීම පිළිබඳවද සංගමය සිය දැඩි විරෝධය පළ කරන අතර, නිසි පරිදි විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා නව සේවකයින් බඳවා ගැනීමට තිබූ සැලසුම් අත්හිටුවා හමස් පෙට්ටියට දමා තිබීම හේතුවෙන් සේවක අයිතිවාසිකම් කඩවී ඇති බවත්, මෙමගින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ටද විශාල අගතියක් සිදුවෙමින් පවතින බවත් පෙන්වා දෙයි.
“ඒ වගේම බැංකුවේ වැඩ කරන්න සේවකයෝ අවශ්‍යයි. අද වෙනකොට නිසි පරිදි විභාග පවත්වල, සම්මුඛ පරීක්ෂණ පවත්වල සේවකයෝ බඳවා ගන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා තිබ්බා. නමුත් ඒවා සියල්ල හමස් පෙට්ටියට යවලා දැන් මාස ගණනාවක් තිස්සේ ඒ වගේ අලුත් පරම්පරාවක් බැංකුවට එන එක වළක්වාගෙන ඉන්නවා කිසිදු සාධාරණ හේතුවක් නැතුව. පසුගිය දවස්වල අපි මේ සම්බන්ධව ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙලා කම්කරු කොමසාරිස් කාර්යාලයේදී කළමනාකාරීත්වයත් එක්ක කැඳෙව්වාට පස්සේ දැන් ලැහි ලැහියේ බැඳලා තිබ්බ, හමස් පෙට්ටියට දාලා තිබ්බ මිටි එලියට අරගෙන ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා.“
ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ මේ සියලු අක්රමිකතාවල අවසාන ප්‍රතිඵලය ලෙස බැංකුව දිනෙන් දින දැවැන්ත පිරිහීමකට සහ අවගමනයකට ලක්වෙමින් පවතින බවයි. සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් නොලැබෙන තත්ත්වයක් හමුවේ තමන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව RDB බැංකුව රැකගැනීමේ අරමුණින් බවත් සංගමය අවධාරණය කරයි.
මෙම සටන තම සාමාජිකයන්ගේ පෞද්ගලික පැවැත්ම, වැටුප් වැඩිවීම් හෝ බෝනස් දීමනා ඉල්ලා සිටීම වෙනුවෙන් කෙරෙන්නක් නොවන බවත්, තම රැකියාවන් සුරක්ෂිත කරගනිමින් රටේ ජනතාවගේ සහ ජාතික ආර්ථිකයේ යහපත උදෙසා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ආරක්ෂා කරගැනීම එහි එකම අරමුණ බවත් සංගමය සඳහන් කරයි.
“මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරලා ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයන්ගේ හෝ එහෙමත් නැත්නම් ආර්.ඩී.බී. බැංකුවේ අපේ සාමාජිකයන්ගේ බඩගෝස්තරය සඳහා නෙමෙයි. අපි සාක්කුවට කීයක් හරි ඉල්ලන්නේ නැහැ. අපිට මොනවා හරි ගාණක් දෙන්න කියන්නේ නැහැ, පඩි වැඩි කරන්න කියන්නේ නැහැ, බෝනස් දෙන්න කියන්නේ නැහැ. අපි ඉල්ලන්නේ අපේ රැකියාව වෙනුවෙන්, මේ බැංකුව මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ බැංකුව මේ රටේ ආර්ථිකය වෙනුවෙන්, මේ බැංකුව ආරක්ෂා කරන්න කියන එක තමයි සටන.“
බැංකුව රැකගැනීමේ සටන වෙනුවෙන් මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පවසන ලංකා බැංකු සේවක සංගමය, එහි තවත් පියවරක් ලෙස රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව සඳහන් කරයි. ගනුදෙනුකරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි පණිවිඩය ලබාදීමේ අරමුණින් සේවකයින් කළු ඇඳුමින් සැරසී විරෝධතාවයේ නිරත වන නමුත්, පාලනාධිකාරිය ඊට සෙවන් නොදෙන්නේ නම් ඉදිරි අගෝස්තු 07 වැනිදා පස්වරු 3.15 ට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සියලුම සේවකයින් සේවයෙන් ඉවත් වන බවට අනතුරු අඟවයි. එමෙන්ම, මෙම ප්‍රශ්නයට යහපත් විසඳුමක් නොලැබුණහොත් අගෝස්තු මාසය අවසන් වීමට පෙර බැංකුව සම්පූර්ණයෙන්ම වසා දමා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවද සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
බැංකු 17හිම සියලුම සේවකයින් බැංකු වසා දමා එළියට කැඳවීමේ සූදානමක්
ලංකා බැංකු සේවක සංගමය සමග බැංකු 17ක් එකාබද්ධව කටයුතු කරන බව පෙන්වා දෙන සංගමය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අවශ්‍ය වුවහොත් එම බැංකු 17හිම සියලුම සේවකයින් බැංකු වසා දමා එළියට කැඳවීමේ සූදානමක් පවතින බවට බලධාරීන්ට සෘජුවම අනතුරු අඟවයි. එමෙන්ම තමන්ව එවැනි තත්ත්වයකට තල්ලු නොකරන ලෙසත්, ඊට පෙර වගකිවයුත්තන් මේ සඳහා සුදුසු පියවර ගත යුතු බවත් ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කර සිටී.
“මේ බැංකු පද්ධතිය තුළ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විතරක් නෙමෙයි, ලංකා බැංකු සේවක සංගමය විදිහට අපි බැංකු 17 ක් එකතු වෙලා කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ බැංකුව ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් මේ බැංකු 17 ඉන්න සියලුම සේවකයෝ බැංකු වහලා එලියට ගේන්න අවස්ථාවක් ආවොත්, ඒකත් කරන්න ලංකා බැංකු සේවක සංගමය විදිහට අපි කටයුතු කරනවා…”
ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු බලධාරීන් වහාම මැදිහත් වී මෙම අර්බුදයට සාධාරණ විසඳුමක් ලබාදිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් සිදුවන සමස්ත පාඩුවේ වගකීම වත්මන් පාලනාධිකාරිය භාරගත යුතු බවත් ලංකා බැංකු සේවක සංගමයේ රන්ජන් සේනානායක වැඩිදුරටත් අවධාරණය කළේය.
