ඇමති සහ ලේකම්ගේ ක්‍රියාකලාපය නිසා ගල්අඟුරු ගනුදෙනුවේදී මහජන මුදල් අවභාවිත වෙලා – මුජිබර් රහුමාන්

ප්‍රශ්නගත ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද දින (30) ප්‍රකාශයක් ලබා දෙමින් පෙනී සිටියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ගල් අඟුරු සිද්ධියේදී රජයේ මුදල් අවභාවිත වී ඇති බවයි.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා ද එක්ව සිටි අතර, ගල්අඟුරු ගනුදෙනුවට අදාළව තමන් සතුව පැවති සියලුම ලිඛිත හා වාචික සාක්ෂි කොමිෂන් සභාව වෙත නිල වශයෙන් බාරදීමට කටයුතු කළ බව මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම විෂයභාර ඇමතිවරයාගේ, අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙන්ම අදාළ අනෙකුත් නිලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සහ රටට අතිවිශාල මුදලක් අහිමි වී ඇති ආකාරය සාක්ෂි සහිතව කොමිසම හමුවේ තහවුරු කළ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් What News කළ විමසීමකදී මන්ත්‍රීවරයා පවසා සිටියේ ප්‍රශ්නගත ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ වාර්තා, විදුලි බලමණ්ඩලයේ වාර්තා සහ විගණකාධිපති නිකුත් කළ වාර්තා සහ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කොමිසමට ලබා දුන් බවය.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

අද දින ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති කොමිසම විසින් මට කැඳවීමක් ලැබුණා. විශේෂයෙන්ම එහි සාක්ෂි දෙන්න අද එන්න කියලා, මමත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමාත් පැමිණියා. පැමිණිලා අපිට ළඟ තිබුණු සියලුම ලිඛිත සාක්ෂි, අපි ඒ වගේම වාචික සාක්ෂි අපි ඉදිරිපත් කරපු ඒවා අද අපි ගල්අඟුරු ජනාධිපති කොමිසමට අපි ඒක ලබා දුන්නා.

ඒක තුළින් අපි පෙන්වලා දුන්නා විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය තුළ ඇමතිතුමාගේ හැසිරීම හා ලේකම්වරයා හා අනෙකුත් නිලධාරීන්ගේ හැසිරීම මත විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙලා තිබෙනවා. ජනතාවගේ මුදල් අවභාවිතා වෙලා තිබෙනවා.

ඒ හින්දා මේ සම්බන්ධව ඒ කොමිසම අපෙන් ප්‍රශ්න කළා. නොයෙකුත් කරුණු කාරණා අපෙන් මතුවුණා. ඒ මතු කරපු කරුණු කාරණා වලට අපේ ළඟ තිබෙන සාක්ෂි ඉදිරිපත් කරමින් අපි ඔවුන්ට උත්තර ලබා දුන්නා. ඉදිරියේදීත් අපිට නැවත කැඳවීමක් කළොත්, අපි නැවත වතාවක් මේ සම්බන්ධව සාක්ෂි දෙන්න පැමිණෙන්න අපි ලෑස්තියි කියන ඒ මතය අපි ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළා.”

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading