SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි

ප්‍රමිතියෙන් තොර හෙල්මට්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව, ෆේස්බුක් සටහනක් පල කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවය.

2015.07.16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 දරන විධානය අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර තිබේ.

පසුගිය 27 වෙනිදා දිවයින පුරා විශේෂ වැටලීම් 98ක් සිදුකර ඇති අතර, එහිදී SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්තශාලා දෙකක දී තහනම් කර තිබේ.

හෙල්මට් එකක් මිලදී ගැනීමට පෙර SLS ලාංඡනය පරීක්ෂා කර නිසි බිල්පතක් ලබාගන්නා ලෙසද, SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන් හා ආයතන පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading