බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතය තහනම් කරන්න: පෙත්සම ඔක්තෝබර් 02 යලි කැඳවේ

බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතයට අනුමැතිය නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක්, විරෝධතා ගොනු කිරීම සඳහා ඔක්තෝබර් මස 02 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම ශංකර් යන අභියාචනාධිකරණ විනිසුරුවන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී, වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනගීෂ්වරන්, සුමති ධර්මවර්ධන සහ අලි සබ්රි විසින් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව අධිකරණය විසින් ඊට අවසර ලබා දෙමින් නඩුව යළි ඔක්තෝබර් 02 වන දින කැඳවීමට නියම කරන ලදී.

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, සුරාබදු පනතේ දෙවන වගන්තිය මඟින් “බීර” යනුවෙන් අර්ථකථනය කර ඇත්තේ මෝල්ට් වලින් සාදන ලද පැසුණු මත්පැන් පමණක් වුවද, වර්තමානයේ බොහෝ නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

තවද, රජය විසින් සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදලින් දැවැන්ත සහනාධාර ලබා දෙන පසුබිමක, එම සහල් බීර වැනි වාණිජ කර්මාන්ත සඳහා යෙදවීමෙන් ජාතික ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බවත්, එය මෙරට සහල්වලින් ස්වයංපෝෂිත වීමට බාධාවක් වී ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇති අතර, මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රමිති යාන්ත්‍රණය නිසි ලෙස යාවත්කාලීන කර නොමැති බවද පෙත්සමේ සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading