කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම හරහා රජයට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව එළඹෙන 31 වනදා අධිචෝදනා ගොනුකරන බව අල්ලස් කොමිසම අද (28) අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළා.
එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට එරෙහි විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.
එබැවින් නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කර සිටි උපාලි ලියනගේ නමැත්තාට එරෙහිව චෝදනා ගොනු නොකරන බැවින් ඔහුව නඩුවෙන් නිදහස් කරන ලෙස කොමිසම ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පළමු සැකකරු අදාළ නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළ අතර දෙවන සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළා.
මෙම සිද්ධියට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර සිටි සැකකරුවන් දෙදෙනාම අද දින අධිකරණයේ පෙනී සිටියා.
අදාළ නඩුව නැවත එළඹෙන දෙසැම්බර් මස 04 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා. .
