නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවේ විමර්ශන අවසන් කර වාර්තාවක් දෙන්න – අල්ලස් කොමිසමට නියෝගයක්

දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඇප මත පසුවන ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා.

සැකකාර හිටපු සභාපතිවරයා අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ අතර අදාළ නඩුව නැවත එළඹෙන දෙසැම්බර් මස 08 වනදා කැඳවීමටද තීන්දු කර තිබෙනවා.

2025 ජූනි මස 27 වනදා නාවල ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ මහතා පසුව ඇප මත මුදාහැර තිබුණා.

මෙම සැකකරුට එරෙහිව චෝදනා ත්‍රිත්වයක් යටතේ නඩු පවරා තිබෙනවා.

2014 ජනවාරි 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පැමිණීමට තිබූ UL319 දරන ගුවන් යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමෙන් රජයට ඇමරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදුකිරීම පළමු චෝදනාවයි.

එමෙන්ම 2014 ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම දෙවන චෝදනාව වනවා.

තවද 2014 දෙසැම්බර් 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් වෙනුවෙන් රජයේ මුදලින් රුපියල් 1,250,000ක් වැය කිරීම මොහුට එල්ල වී ඇති තෙවන චෝදනාව වී තිබුණා.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading