රේගු ආඥා පනත උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු ප්‍රියලාල් බන්දුල පීති ජයවර්ධන සම්බන්ධයෙන් රුපියල් මිලියන 500කට අධික භාණ්ඩ රටට ගෙන්වීම පිළිබඳව විමර්ශනය කළ යුතුව තිබෙන බව නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.
ඒ ජුලි 27 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිග් කුලරත්න කරුණු ඉදිරිපත් කරමිනි.
සැකකාර හවුස් ඔෆ් ෆැෂන් හිමිකරුට එරෙහිව රුපියල් මිලියනයකට අධික රේගු වංචාවක් සිදුකර ඇති බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ සැකකරු චීන සමාගමක් හරහා භාණ්ඩ ගෙන්වීමට මුදල් යවා ඇතත්, ඊට අදාළව ආනයනය කළ භාණ්ඩ මොනවාදැයි මෙතෙක් හඳුනාගෙන නැති බවයි.
සැකකරුගේ ආයතනයේ ප්‍රධාන සැපයුම්කරු චීන සමාගමක් බවත්, එම චීන සමාගමට මෙරට ආයතන 30ක් භාණ්ඩ ආනයනයට මුදල් ආයෝජනය කර ඇති බවත්, එහෙත් එම ආයතන ආනයනය කළ භාණ්ඩ කිසිවක් නැති බවත්ය.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇප ඉල්ලා ඇතත්, ඔහුට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නැති බැවින් එය මහාධිකරණය මගින් සිදුකළ යුතු බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.
ඒ අනුව සැකකරු අගෝස්තු 06 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ එදිනට දෙපාර්ශවයේ වැඩිදුර තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
