දෙමළ කතා කරන ජනතාවට බලපාන පොදු අවධානයට ලක්වන කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට එකඟතාවකට ආ දේශපාලන පක්ෂ හයක් දෙමළ කතා කරන ජනතාවට බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇත.
ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති අතර එය ඉලංකෙයි තමිල් අරසු කච්චි, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය, ප්රජාතන්ත්රවාදි දෙමළ ජාති සන්ධානය, ලංකා කම්කරු කොංග්රසය, සමස්ත ලංකා මක්කල් කොංග්රසය හා දෙමළ ප්රගතිශීලි සන්ධානය යන දේශපාලන පක්ෂ විසින් සිදුකර තිබේ.
ජනාධිපතිවරයා සමඟ පවත්වන එම සාකඡාවෙන් අනතුරුව පොදු එකඟතාවයන් ගොඩ නැඟීමේ උත්සාහයන් ඉදිරියට ගෙන යෑම සඳහා විපක්ෂ නායකවරයා හා රාජ්ය තාන්ත්රික නිලධාරීන් හමුවීමට ද එම දේශපාලන පක්ෂ බලාපොරොත්තු වේ.
එම දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙම තීරණයන්ට එළඹ ඇත්තේ පසුගිය ජුලි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී හමුවී එක්ව කටයුතු කිරීමට එම පක්ෂවල ඇති කැපවීම නැවත තහවුරු කරමින්ය.
