වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම යළි හඳුන්වා දී ඇති බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
මෙම ක්‍රමය යටතේ ඔන්ලයින් (Online) ක්‍රමයට වීසා අයදුම් කළ යුතු අතර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් වශයෙන් කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඉන්දියානු කොන්සියුලර් සේවා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයකට අයදුම්පත් භාර දිය යුතුය.
එහිදී වයස අවුරුදු 12-70 අතර අයදුම්කරුවන් ජෛවමිතික දත්ත ලබා දීම සඳහා මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතුවේ. මෙහිදී වීසා ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, අයදුම්කරුවන් විසින් වීසා සේවා ගාස්තු ලෙස ශ්‍රී ලංකා රුපියල් 1,855/-ක මුදලක් පමණක් මධ්‍යස්ථානයට ගෙවිය යුතු වේ.
