කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහැර රජයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (ජුලි 23) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර එම පෙරහැර උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් පැවැත්වීම සඳහා අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.
එම පෙරහැර සාර්ථක කර ගැනීම වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලුම රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ඒ සඳහා ලබාදෙන දායකත්වය එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්වී ඇත.
මීට පෙර බෞද්ධ ආගමික පෙරහැර කිහිපයක් රජයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පවත්වනු ලැබීය.
