පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් යොමුකරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් මත බීබීසී ආයතනයේ සංස්කාරකවරිය සහ මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැදවීමට ගත් උත්සාහය විරෝධය හමුවේ හකුළාගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙලෙස කැදවීමට ගත් උත්සාහය ගැටලු සහගත බවත්, ඉදිරියේදීද මෙවැනි උත්සාහයන් ගත හැකි බවත් පෙන්වා දෙමින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කර තිබේ.
වෛද්‍ය නලින්ද ජයතිස්ස,
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
කොළඹ.
ගරු අමාත්‍යතුමනි,
මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීමට එරෙහිව මාධ්‍ය නිදහස සුරැකීම සඳහා වහාම මැදිහත් වන ලෙස කරන ඉල්ලීමයි
ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක යන මහත්ම මහත්මීන් එළඹෙන ජූලි 23 වැනිදා පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවීම ගත් උත්සාහය මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) ලෙස අපි දැඩි සේ හෙළා දකිමු.
මෙම ලිපිය ලියන මොහොත වන විට ඇතැම් ආරංචිමාර්ග වාර්තා කරන්නේ එම තීරණය වෙනස් කර මෙම කැදවීම නැවැත්වීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර ඇති බවයි. සමාජ විරෝධය හමුවේ තීන්දුව වෙනස් කර ගත්තද, මාධ්‍ය ආයතනයක් වරප්‍රසාද කමිටුවට කැදවීමට ගත් උත්සාහය ගැටලු සහගත බව ඉතා පැහැදිලි කරුණකි. එමෙන්ම ඉදිරියේදි වෙනත් මාධ්‍යවේදීන්වද කැදවිමට උත්සාහ ගනු ඇතැයි සාධාරණ සැකයක් පවතී.
අදාළ ප්‍රවෘත්තිය වාර්තා කිරීමේදී බීබීසී සිංහල සේවය අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටිය පිළිබඳව අප ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනු කැමැත්තෙමු. අනුරාධපුර බාලවයස්කාර දැරිය අපයෝජනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පැවති සාකච්ඡාව පිළිබඳව පුවත පළ කිරීමට පෙර, බීබීසී මාධ්‍යවේදීන් විසින් නිසි මාධ්‍ය ආචාරධර්ම අනුගමනය කරමින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන කරුණු විමසා ඇත. එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇයගේ පාර්ශ්වය පැහැදිලි කිරීමට සහ ප්‍රතිචාර දැක්වීමට ඇයට පූර්ණ හැකියාවක් සහ අවස්ථාවක් තිබුණද, ඇය පැහැදිලි පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටියාය. එපමණක් නොව, පුවත පළවීමෙන් පසුව හෝ ලොව පුරා පිළිගත් මාධ්‍ය සම්ප්රදාය වන “පිළිතුරු දීමේ අයිතිය” (Right of Reply) භාවිත කරමින් තම ස්ථාවරය මාධ්‍යයට ලබා දීමට ඇය කිසිදු පියවරක් ගෙන නොතිබුණි. තමන්ට හිමිව තිබූ පිළිතුරු දීමේ අයිතිය පවා භාවිත නොකළ මන්ත්‍රීවරියක විසින්, තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදීන්ගෙන් පළිගැනීමේ අරමුණින් ඔවුන්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම කිසිසේත් අනුමත කළ නොහැක.
මීට අමතරව, උක්ත කැඳවීම සඳහා කිසිදු නෛතික පදනමක් නොමැති බවද අපි දැඩිව අවධාරණය කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ ස්ථාපිත කළ නිල කාරක සභාවක් නොවේ. පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ මුක්තීන් සහ බලතල ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ කටයුතුවලට සහ නිල කාරක සභාවලට පමණි. එබැවින්, නෛතික බලයක් නොමැති සංසදයක සිදුවූ කරුණු වාර්තා කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ලෙස සලකා මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ කැඳවීම සම්පූර්ණයෙන්ම පදනම් විරහිත මෙන්ම අත්තනෝමතික ක්‍රියාවකි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මෙරට මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ මූලික වගකීම ඔබතුමා සතු වේ. එසේම, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙවැනි පදනම් විරහිත, ප්රජාතන්ත්ර විරෝධී සහ රජය අපකීර්තියට පත්කරන ක්‍රියාවලින් වළක්වා ගැනීමේ දැවැන්ත වගකීමද ඔබතුමාට ඇත.
එබැවින්, කිසිදු නෛතික පදනමක් නොමැතිව ජනමාධ්‍ය නිදහසට බරපතළ සීමා ඇතිකරමින් සිදුකර ඇති මෙම අත්තනෝමතික කැඳවීම වහාම අත්හිටුවීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙසත්, මාධ්‍යවේදීන්ට බියකින් හෝ තර්ජනයකින් තොරව තම වෘත්තීය කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාව තහවුරු කර දෙන ලෙසත් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ස්තූතියි,
ප්‍රධාන ලේකම්
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
