පසිඳු සඳරුවන්
ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තවමත් දුප්පත්කමින් පීඩා විඳින අතර, මෙරට නිවාසවලින් තුනෙන් එකක් පමණ තවමත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කණ්ඩායමේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියන් මහතා පවසා තිබෙනවා.
බොහෝ දෙනෙකුගේ වැටුප් තවමත් පවතින්නේ අර්බුදයට පෙර තිබූ මට්ටමට වඩා පහළින් බවත් රැකියා වෙළඳපොළ, විශේෂයෙන්ම කාන්තාවන් සඳහා, තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වී නොමැති බවත් වැඩි දුරටත් අදහස් දක්වන ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඉදිරි දශකය තුළ මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ශ්‍රී ලංකාවේ විධිමත් ශ්‍රම බලකායට එකතු වනු ඇතත්, පවතින වර්ධන වේගය අනුව ආර්ථිකයට බිහි කළ හැක්කේ විධිමත් රැකියා 300,000ක් පමණයි. එයින් අදහස් කරන්නේ තරුණ තරුණියන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුටම ගුණාත්මක රැකියාවක් නොමැතිව ඉතිරි වීමේ අවදානමක් පවතින බවයි. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් අවිධිමත් අංශයේ සේවය කිරීම හේතුවෙන් මෙම අභියෝගය තවදුරටත් දැඩි වී තිබෙනවා.
ඔහුට අනුව දැනට පවතින විශාලතම අභියෝගය වන්නේ ආර්ථික පරිවර්තනයක් සඳහා අවශ්‍ය ආයෝජන පරිමාණය හෝ ගුණාත්මකභාවය ශ්‍රී ලංකාව තවමත් ආකර්ෂණය කර නොගැනීමයි. සමස්ත පරිමාණය දෙස බලන විට, ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ලෙස ලබා ගන්නේ තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණයි.
ලෝක බැංකු මෙරට කළමනාකරු වැඩිදුරටත් සඳහන් කරන්නේ සියයට 3.5 – 4ක පමණ වර්ධනයක් දක්නට ලැබීම දිරිගන්වන සුළු වුවද, ආර්ථික පිබිදීම තවමත් බිඳෙනසුලු වන අතර මූල්‍ය සංචිත තවමත් පවතින්නේ අවම මට්ටමක බවයි.
එබැවින්, තෙල් මිල, ගෝලීය වෙළඳ බාධා කිරීම් හෝ සංචාරක ගමනාගමනය හරහා ශ්‍රී ලංකාව තවමත් දැඩි ලෙස අවදානමට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරනවා.
