බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්, කැණීම් කරනු ලබන, නිෂ්පාදනය කරනු ලබන හෝ නිම කරනු ලබන ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම තහනම් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජුලි 10 දින සහිතව නිකුත් කර ඇති එය 2026 අංක 07 දරන භාණ්ඩ ආනයනය තහනම් කිරීම පිළිබඳ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි ලෙස එය හඳුන්වා ඇත. එය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ආනයන හා අපනයන පාලන පනත යටතේ සාදනු ලබන රෙගුලාසියක් ලෙස නිකුත් කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැළකිල්ලට ගනිමින්, මෙම රෙගුලාසි අදාළ විය යුතු භාණ්ඩ, අස්ථිත්ව හෝ රටවල් අමාත්‍යවරයා විසින් කලින් කලට නිවේදනය කරන බව සඳහන් කර ඇත.
නිවේදනය කරනු ලැබූ අස්ථිත්වයකින් හෝ රටකින් උත්පාදනය වන භාණ්ඩ ආනයනය කරන්නන් විසින්, ආනයනය කිරීමට අපේක්ෂිත භාණ්ඩ බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්, කැණීම්කර, නිෂ්පාදනයකර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීම සඳහා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කලින් කලට නියම කරනු ලබන ලේඛනමය සාක්ෂි, ප්‍රකාශ හෝ සහතික ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන් කර ඇත.
එමෙන්ම මෙම රෙගුලාසිවල අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වගකිවයුතු නියාමන අධිකාරිය වන බව හා රේගු ආඥා පනතට අනුකූලව මෙම රෙගුලාසි බලාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු පරිපාලන පටිපාටීන් නියම කරමින් දෙපාර්තමේන්තුමය නියෝග නිකුත් කළ හැකි බවද එහි සඳහන් කර තිබේ.
