කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලිට ඉංග්‍රීසියෙන් විවෘත වරෙන්තු

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන මහා පරිමාණ මූල්‍ය විමර්ශනයකට අදාළව, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) නියෝග කර තිබේ.

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලි විජේනායක සඳහා දැනටමත් දින වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි. ඇය මෙරටින් බැහැරව සිටින බැවින්, ජාත්‍යන්තර මට්ටමින් විමර්ශන කටයුතු පහසු කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස CID නිලධාරීන් කළ ඉල්ලීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයාගේ අනුමැතිය හිමි වී තිබේ.

සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටි මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන මහත්ම මහත්මීන් එම ඇපකාරීත්වයෙන් ඉවත් කිරීමට ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ. තම සේවාදායකයින් දෙදෙනාට හදිසි විදේශගත වීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඔවුන් මෙම ඇප බැඳීම්වලින් නිදහස් කරන ලෙසත්, ඒ වෙනුවෙන් තැන්පත් කර ඇති රුපියල් මිලියන 10ක ඇප මුදල වුවද රාජසන්තක කිරීමට එකඟ වන බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඉල්ලීමක් කර ඇත.

නඩු ගොනුව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊට වහාම ප්‍රතිචාර දක්වමින් මෙහි සැබෑ ඇප මුදල රුපියල් මිලියන 10ක් නොව රුපියල් ලක්ෂ 200ක් වන බවත්, එම ඇප මුදල රාජසන්තක කිරීමට ප්‍රථමයෙන් ඊට අදාළ නීතිමය කරුණු දැක්වීම් අධිකරණය හමුවේ සිදුකළ යුතු බවත් සඳහන් කර ඇති අතර, ඒ අනුව සැකකාරියට ඇප තැබූ ඇපකරුවන් දෙදෙනා එම වගකීමෙන් ඉවත් කර ගැනීමටත්, අදාළ ඇප මුදල් රාජසන්තක කිරීමටත් හේතු වන කරුණු ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නඩුව නැවත කැඳවීම ලබන 22 වැනිදාට නියම කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading