ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අධ්‍යක්ෂක ඒකකය (Central Intelligence Directorate) විසින් ඊයේ දින (14) කරන ලද විශේෂ වැටලීමකදී, සීතකරණ පැනල් (Cold storage panels) තුළ සූක්ෂ්ම ලෙස සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කළ මිලියන 450ක විදේශීය සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර ආරක්ෂක අංශ සහ හවුල්කරුවන්ගෙන් රේගු බුද්ධි අංශය වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. සීතකරණ පැනල් අඩංගු බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් මෙරටට ගෙන්වා තිබූ මෙම බහාලුම, දෙහිවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක ලිපිනයකට එවා තිබූ එකක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රේගු නිලධාරීන් විසින් එම පැනල් ගලවා පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ චීන නිෂ්පාදිත සිගරට් කාටන් 18,000කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි අඩංගු සිගරට් වැටි ප්‍රමාණය මිලියන 3.6කි. මෙම සිගරට් තොගය මෙරට වෙළඳපොළට මුදාහැරියේ නම් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන 400කට අධික බව රේගුව ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් සිගරට් තොගයේ සමස්ත වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 450කට අධිකය.
මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස දැනට ලංකාවේ පදිංචිව සිටින හෝ මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත වන චීන ජාතිකයින් කිහිපදෙනෙකු සිටින බවට රේගු අංශ සැක පළ කරයි. ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අධ්‍යක්ෂක ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
