දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වෛරසයෙන් පාසල් සහ පෙර පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා, සාමාන්‍ය නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට රජය අවසර ලබා දී තිබේ.
ඩෙංගු මදුරු මර්දන වැඩසටහන්වලදී පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර අතුරින් වැඩිපුරම මදුරුවන් බෝ වන ස්ථාන ලෙස පාසල් ද හඳුනාගෙන ඇති අතර, එය සමස්ත පරිශ්‍ර සංඛ්‍යාවෙන් 40% වැනි ඉහළ ප්‍රතිශතයකි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම හදිසි පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුමට අමතරව ශරීරය ආවරණය වන සුදුසු ඇඳුම් ඇඳීමට අවසර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීම සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කරන ලෙස ද විදුහල්පතිවරුන්ට නිවේදනයක් මගින් දන්වා ඇත.
ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය ගත් මෙම ක්‍රියාමාර්ගය පෙර පාසල් දරුවන්ට ද එකසේ අදාළ වන බවයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ පෙර පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත් සහ කකුල් හොඳින් ආවරණය වන ඕනෑම සුදුසු ඇඳුමකින් සරසවා ඔවුන් පෙර පාසල් වෙත යොමු කරන ලෙසයි. එමෙන්ම, දරුවන් වෙනුවෙන් නිසි ප්‍රමිතියෙන් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමටත්, මදුරු දෂ්ටනවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දැනුම් දෙන ඇය, ඉදිරි සති දෙක මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානයෙන් පසුවිය යුතු කාලයක් බව ද අවධාරණය කළාය.

